2014 සහ 2015 වර්ෂවලදී විධිමත් ප්‍රසම්පාදන විධිවිධානවලට පටහැනිව සහල් ආනයනය කිරීම හේතුවෙන් ලංකා සතොස ලිමිටඩ් ආයතනයට රුපියල් 15,157,031,018 ක අතිවිශාල පාඩුවක් සිදුව ඇති බව අනාවරණය වී තිබේ.මෙම තොරතුරු අනාවරණය වූයේ 2021 සහ 2022 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ සතොස ආයතනයේ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) පසුගියදා රැස් වූ අවස්ථාවේදී යි.කාරක සභාව මෙහිදී පෙන්වා දී ඇත්තේ, 2014/2015 වසරවල ආනයනික සහල් සඳහා රුපියල් 27,011,980,142 ක පිරිවැයක් දරා තිබුණද, එම සහල් තොගය අලෙවි කිරීමෙන් ලැබී ඇත්තේ රුපියල් 11,854,949,124 ක ආදායමක් පමණක් බවයි. දේශීය වෙළෙඳපොළ තත්ත්වය, වී අස්වැන්න ලැබීම සහ ගබඩා පහසුකම් පිළිබඳව නිසි අධ්‍යනයකින් තොරව මෙම ආනයන කටයුතු සිදු කර ඇති බවත්, එමගින් රුපියල් බිලියන 15 කට අධික පාඩුවක් සතොසට සිදුව ඇති බවත් කෝප් කමිටුව සඳහන් කළේය.කෙසේ වෙතත්, මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය විධිමත් පරීක්ෂණ සිදුකර, ඒ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව වෙත චෝදනා ගොනුකරදීම සඳහා භාර දී ඇති බව නිලධාරීන් කමිටුවට දැනුම් දී තිබේ.තවද, සතොස ආයතනය විසින් ගොඩනැගිලි කුලියට ගැනීමේදී අදාළ මාර්ගෝපදේශ නොතකා, ගොඩනැගිලි නොමැති හිස් ඉඩම් සඳහා පවා වෙළෙඳසැල් ආරම්භ කිරීමට යැයි උපකල්පනය කරමින් අත්තිකාරම් මුදල් ගෙවා ඇති බව කෝප් කමිටුව පෙන්වා දුන්නේය. 2020 දෙසැම්බර් 31 වන විට ගිවිසුම් 29 ක් යටතේ රුපියල් 34,234,996 ක් ඇස්තමේන්තුවක් නොමැතිව ගෙවා ඇත.මෙසේ ඉදි කරන ලද ගොඩනැගිලිවලින්, භාවිතයට සුදුසු පරිදි ඉදිකිරීම් සිදු නොකළ ගොඩනැගිලි හිමිකරුවන් 18 දෙනෙකුට එරෙහිව රුපියල් 27,435,000 ක් අයකර ගැනීමට සමාගම විසින් මේ වන විට නඩු පවරා ඇති බවද මෙහිදී අනාවරණය විය.