වත්මන් විපක්ෂය දේශපාලනික වශයෙන් ආපදාවට ලක්ව ඇති බවත්, ඔවුන් දිනපතා අසත්‍ය ප්‍රචාර පතුරුවමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරන බවත් එරංග ගුණසේකර මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. ලෝකයේ පවතින යුදමය වාතාවරණයන් හමුවේ කිසිදු රටකට ප්‍රතිලාභ අත් නොවන බව පෙන්වා දුන් ඒ මහතා, ජනාධිපතිවරයාගේ මගපෙන්වීම යටතේ රජය සැමවිටම නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව අවධාරණය කළේය. මනුෂ්‍යත්වය පෙරදැරි කරගනිමින් ජාත්‍යන්තර ගිවිසුම්වලට ගරු කරමින් කටයුතු කිරීම රජයේ මූලික අපේක්ෂාව බවද ඔහු මෙහිදී පැවසීය.මෑතකදී ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් දැඩි ලෙස පීඩාවට පත් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහන කටයුතු පිළිබඳවද මෙහිදී කරුණු අනාවරණය විය. කොළොන්නාව ප්‍රදේශයේ පවුල් 55,513ක් පීඩාවට පත්ව ඇති අතර, පූර්ණ හානි සිදුවූ නිවාස 144ක් මේ වන විටත් හඳුනාගෙන තිබේ. හානි වූ නිවාස වෙනුවෙන් රජය මගින් රුපියල් 25,000 සහ 50,000 බැගින් වන වන්දි මුදල් ද, පාසල් දරුවන් වෙනුවෙන් රුපියල් 25,000ක විශේෂ දීමනාවක් ද ලබාදීමට දැනටමත් පියවර ගෙන ඇත.මෙම ආධාර මුදල් මෙතෙක් ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයින් සිටී නම්, වහාම අභියාචනයක් මගින් ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කරන ලෙස එරංග ගුණසේකර මහතා ඉල්ලා සිටියේය. හඳුනාගත් නිවාස 21,509ක් සඳහා අදාළ දීමනා ඉදිරි සති දෙක ඇතුළත ගෙවා නිම කිරීමට රජය සැලසුම් කර ඇති බවත්, එම කටයුතු විනිවිදභාවයකින් යුතුව සිදුවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මෙම අවස්ථාවට කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා ද එක්වෙමින් තොරතුරු තහවුරු කළේය.

























