පවතින ආපදා තත්ත්වය හේතුවෙන් හානි වූ නිවාස පිරිසිදු කිරීම සඳහා මූලික ආධාර මුදලක් ලෙස රුපියල් 25,000 ක් ලබා දීමට රජය තීරණය කර ඇති බව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පවසයි. ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුරින් හානි වූ නිවාස පිරිසිදු කිරීම සඳහා රජය ලබා දෙන රුපියල් 25,000 ක මූලික ආධාර මුදල් බෙදා දීම ඊයේ (02) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙහිදී, නැවත පදිංචි විය හැකි තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල පවුල් 100 කට වැඩි සංඛ්‍යාවකට ඔවුන්ගේ නිවාස පිරිසිදු කිරීම සඳහා රුපියල් 25,000 ක මූලික ආධාර මුදල ලබා දෙන ලදී. ඉදිරියේදී, ආපදාවට ලක් වූ අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවටද නිවාස පිරිසිදු කිරීම සඳහා මෙම මුදල් ලබා දීමට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් කටයුතු කිරීමට නියමිතය. මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුන ආරච්චි, කොළඹ නගරාධිපති, නාගරික මන්ත්‍රීවරුන්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජානක කුමාර, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් සුගත් සිසිර කුමාර, නිලධාරීන් සහ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල පදිංචිකරුවන් ද සහභාගී විය.


























