විපතේදී පිහිට වූ විදෙස් යුද නැව්වලට නාවික හමුදාවේ ගෞරවය!

​ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් ගාලු මුවදොර මුහුදු තීරයේ පැවැත්වූ 2025 ජාත්‍යන්තර නාවික සමාලෝචනය (IFR) සඳහා සහභාගී වූ විදේශීය යුද නැව්, මෙරට පැවති අයහපත් කාලගුණික ව්‍යසනය හමුවේ ලබාදුන් මානුෂීය සහ සහන සේවා මෙහෙයුම් නාවික හමුදාවේ ඉහළ ඇගයීමට ලක්ව තිබේ. “Sailing Strong – Together” යන තේමාව යටතේ පැවැති මෙම උළෙලට සහභාගී වූ විදෙස් නැව් වෙතින් නාවික සම්ප්‍රදායානුකූල උත්තමාචාරය පිළිගැනීම, ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ පර්යන්තයේ සිට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් සිදු කරන ලදී.​මෙම සමාලෝචනය සඳහා නොවැම්බර් 27 වන විට බංග්ලාදේශය, ඉන්දියාව, ඉරානය, මාලදිවයින, මැලේසියාව, පකිස්ථානය සහ රුසියාව යන රටවල් නියෝජනය කරමින් යුද නැව් අටක් මෙරටට පැමිණ සිටියේය. ඒ අතර බංග්ලාදේශයේ BNS PROTTOY, ඉන්දියාවේ INS VIKRANT සහ INS UDAYGIRI, ඉරානයේ IRIS NAGHDI, මාලදිවයිනේ CGS HURAVEE, මැලේසියාවේ KD TERENGGANU, පකිස්ථානයේ PNS SAIF සහ රුසියාවේ GREMYASCHCHY යන නෞකා විය. දිවයින පුරා පැතිර ගිය දරුණු කාලගුණික විපර්යාසය හේතුවෙන්, උත්සවය සඳහා පැමිණි මෙම නෞකා වහාම සහන සේවා කටයුතු සඳහා යොමු කෙරුණු අතර, විශේෂයෙන්ම ඉන්දීය සහ පකිස්ථාන නෞකාවල හෙලිකොප්ටර් යානා මුදාගැනීමේ මෙහෙයුම්වලදී ප්‍රශංසනීය කාර්යභාරයක් ඉටු කළ බව නාවික හමුදාව සඳහන් කරයි.​මෙම සහයෝගීතාවය හරහා කලාපීය නාවික තර්ජන සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන ස්වභාවික විපත් ජය ගැනීමට අවශ්‍ය සාමූහික එකඟතාවය තවදුරටත් තහවුරු විය. මෙම අවස්ථාවට සහභාගී වූ බංග්ලාදේශය, ඉන්දියාව, ඉරානය, මාලදිවයින, මැලේසියාව, පකිස්ථානය සහ රුසියාව යන රටවල තානාපති සහ මහකොමසාරිස් කාර්යාල නිලධාරීන්ට, ආපදා සහන මෙහෙයුම් සඳහා ලබාදුන් සහය වෙනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සිය කෘතඥතාව පළ කළාය.

What's your reaction?

Related Posts

1 of 922

Leave A Reply

Your email address will not be published. Required fields are marked *