පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජල පරිභෝජනය සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ ජල සැපයුම සීමා කිරීමට සිදුවිය හැකි බව ජලසම්පාදන මණ්ඩලය නිවේදනය කරයි. ජල මූලාශ්‍රවල ධාරිතාව අඩුවීම සහ පාරිභෝගික ඉල්ලුම ඉහළ යාම නිසා කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක උස් බිම්වලට සහ නළ පද්ධතියේ අවසානයට පිහිටි නිවෙස්වලට ජල පීඩනය අඩුවීමේ ගැටලු දැනටමත් මතුව තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ජලසම්පාදන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර සහ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ටී. භාරතීදාස යන මහත්වරුන් අවධාරණය කළේ ඉදිරි කාලයේදී වර්ෂාපතනය තවදුරටත් අඩුවිය හැකි බැවින් ජලය කළමනාකරණය කර ගැනීම අත්‍යවශ්‍ය බවයි.දැනට පූර්ණ ධාරිතාවයෙන් ජල නිෂ්පාදනය සිදු කළද, අධික පරිභෝජනය හේතුවෙන් පැය 24 පුරා අඛණ්ඩව ජලය ලබාදීම අභියෝගයක් වී ඇත. මේ නිසා ඉදිරි සති දෙක තුන ඇතුළත ජල සැපයුම පැය කිහිපයකට සීමා කිරීමට රජයට සිදුවනු ඇතැයි බලධාරීන් අනතුරු අඟවයි. දැනටමත් ජල හිඟය පවතින ප්‍රදේශ සඳහා බවුසර් මඟින් ජලය බෙදා හැරීම ආරම්භ කර ඇති අතර, කැලණි ගඟේ ජලයට ලුණු මුසු වීම වැළැක්වීම සඳහා ලවණ බාධක යෙදීමට ද පියවර ගෙන තිබේ.මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා දෛනික කටයුතුවලදී ජලය උපරිම අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජලසම්පාදන මණ්ඩලය සමස්ත ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී. විශේෂයෙන්ම ගෙවතු වගාවන් සහ වාහන සේදීම වැනි කටයුතු සඳහා නළ ජලය භාවිතය සීමා කිරීම වැදගත් වේ. යම් හෙයකින් ඔබගේ ප්‍රදේශයට ජල සැපයුමේ ගැටලුවක් පවතින්නේ නම්, වහාම 1939 ක්ෂණික ඇමතුම් අංකය හෝ අදාළ ප්‍රාදේශීය ජලසම්පාදන කාර්යාලය අමතා ඒ පිළිබඳව දැනුවත් කරන ලෙස ද දන්වා සිටියි.





















