විශේෂ තීරණයකින් පාර්ලිමේන්තුව අද රැස්වෙයි

මීට පෙර ගෙන තිබූ තීරණ වෙනස් කරමින්, අද (08) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වීමට පක්ෂ නායකයින් තීරණය කර තිබේ. රජයේ නිවාඩු දිනයක් බැවින් අද දිනයේ සභාව රැස් නොවීමට මීට පෙර තීරණය වී තිබුණද, කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම හදිසි සංශෝධනය සිදුකළ බව මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය තහවුරු කළාය.​අද දින වැඩපිළිවෙළ අනුව, පෙරවරු 9.30 සිට 10.30 දක්වා කාලය ස්ථාවර නියෝග යටතේ වන කටයුතු සහ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන් අනතුරුව පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කරන සභාව කල්තැබීමේ යෝජනාව සම්බන්ධ විවාදය පැවැත්වීමට නියමිතය. හෙට (09) සහ අනිද්දා (10) දිනවල සභා කටයුතු කිසිදු වෙනසකින් තොරව සැලසුම් කළ පරිදිම ක්‍රියාත්මක වේ.​මේ අතර, එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් මස දෙවන පාර්ලිමේන්තු සතිය නොපැවැත්වීමටද මෙහිදී එකඟතාව පළ විය. ඒ අනුව උත්සව නිවාඩුවෙන් පසු නැවත පාර්ලිමේන්තුව රැස්වන දින වකවානු පිළිබඳව ඉදිරියේදී දැනුම් දීමට නියමිත බව මහලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

What's your reaction?

Related Posts

1 of 1,085

Leave A Reply

Your email address will not be published. Required fields are marked *