රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් සඳුදා (2) දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට තම සංගමයේ කිසිදු සාමාජිකයෙකු සහභාගී නොවන බව වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය (AMS) ප්‍රකාශ කර සිටියි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම්වලට රජය නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට ඔවුන් තීරණය කර තිබුණද, විශේෂඥ වෛද්‍යවරුන් වන තමන් සුපුරුදු පරිදි රාජකාරි කටයුතු වල නිරත වන බව වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය අශෝක ගුණරත්න මහතා තහවුරු කළේය.රට පුරා රෝහල්වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් ද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා කළ ප්‍රකාශය ද වෛද්‍ය අශෝක ගුණරත්න මහතා මෙහිදී තරයේ ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව, සඳුදා දිනයේ සිට ක්‍රියාත්මක වන මෙම විරෝධතාවයට තම සංගමයේ කිසිදු දායකත්වයක් නොමැති බව ඔහු යළිත් අවධාරණය කළේය.


























