පශ්චාත් සීමාවාසික පුහුණුව නිම කළ වෛද්‍යවරුන් 435 දෙනෙකු සඳහා එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර ස්ථිර පත්වීම් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා අවධාරණය කළේ මේ සඳහා අවශ්‍ය සියලු මූලික කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ වන විටත් සම්පූර්ණ කර ඇති බවයි.පශ්චාත් සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 453 දෙනා අතුරින් 435 දෙනෙකුම, එනම් සමස්ත පිරිසෙන් 96%ක්ම, පත්වීම් සඳහා ඉල්ලුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිල වශයෙන් තහවුරු කළේය. වෘත්තීය සමිති බලපෑම් මධ්‍යයේ වුවද ඊයේ (04) මධ්‍යහ්නය වන විට අතිමහත් බහුතරයක් සිය අයැදුම්පත් යොමු කර තිබීම විශේෂත්වයකි.ස්ථාන මාරුවීම් සහ පත්වීම් ක්‍රමවේද මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය අද (05) දිනයේත් ක්‍රියාත්මක වූ අතර, පත්වීම් සඳහා අයැදුම් කිරීම වැළැක්වීමට ද ඔවුන් උත්සාහ කර තිබුණි. කෙසේ වෙතත්, වර්ජන තත්ත්වය හමුවේ වුවද දිවයිනේ ඇතැම් රෝහල්වල ප්‍රතිකාර කටයුතු අඩාල නොවී සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට රෝහල් බලධාරීන් කටයුතු කර ඇත.මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පීඩාවට පත් රෝගී ජනතාව පෙන්වා දෙන්නේ පටු ඉල්ලීම් මත ප්‍රතිකාර සේවා අත්හිටුවීම අසාධාරණ බවයි. මේ අතර, වෛද්‍යවරුන්ගේ මෙම වැඩවර්ජනය මුළුමනින්ම පදනම් විරහිත සහ අසාධාරණ එකක් බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී. මැදිවත්ත මහතා ද සඳහන් කර තිබේ.වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ වෛද්‍ය පත්වීම් නිසි ක්‍රමවේදයකට සිදු නොවන බවට වන ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මත මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා එම සංගමයේ විධායක සභාව ඉදිරියේදී රැස්වීමට නියමිතව ඇත.එළඹෙන උත්සව සමයේ රෝගී සත්කාරක සේවා බිඳවැටීමට ඉඩ නොතබා, සුදුසුකම් ලැබූ සියලුම වෛද්‍යවරුන්ට කඩිනමින් පත්වීම් ලබාදීම රජයේ මූලික අරමුණ වී තිබේ. ඒ අනුව අලුත් අවුරුද්දට පෙර නව වෛද්‍යවරුන් සේවයට එක්වීම තුළින් පවතින සෞඛ්‍ය සේවා ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය විශ්වාසය පළ කරයි.





















