ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය ගුවන් ගමන් වලදී පිරිනමන ආහාර පාන වල විශිෂ්ටත්වය වෙනුවෙන්, 2026 APEX සම්මාන උළෙලේදී මධ්‍යම/දකුණු ආසියා කලාපයේ ‘හොඳම ආහාර හා පාන’ (Best in Food and Beverage) සම්මානයෙන් පිදුම් ලබා තිබේ. මෙම ජාත්‍යන්තර සම්මානය මගින්, දේශීය මෙන්ම ජාත්‍යන්තර රසයන්ගෙන් සමන්විත ගුවන් සේවයේ විවිධ වූ මෙනුව ඇගයීමට ලක් කරයි. ඊට අමතරව, ශ්‍රී ලංකන් ගුවන් සේවය ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ ඉහළම ඇගයීම වන තරු හතරේ ප්‍රධාන ගුවන් සේවයක් ලෙස ද ශ්‍රේණිගත කර ඇත. APEX සම්මාන සහ නිල ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම්, TripIt by Concur නමැති සංචාරක කළමනාකරණ යෙදුම හරහා එකතු කරන ලද මිලියනයකට අධික මගී ශ්‍රේණිගත කිරීම් මත පදනම් වේ. ගුවන් සේවා 600 කට අධික සංඛ්‍යාවක් ගුවන් ගමන් පහසුව, කැබින් සේවාව, ආහාර පාන, විනෝදාස්වාදය සහ Wi-Fi යන කාණ්ඩ පහක් යටතේ මෙහිදී ඇගයීමට ලක් කෙරේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිෂ්පාදන සංවර්ධන කළමනාකාරිනී මාරියා සතිසිවම් මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින්, “මෙම විශිෂ්ටතා සම්මානය දෙවරක්ම ලැබීම, අප අපගේ මගීන් සමඟ ගොඩනඟා ඇති දැඩි බැඳීමට සාක්ෂියක්. සෑම ගුවන් ගමනකදීම උසස් තත්ත්වයේ, සෞඛ්‍ය සම්පන්න සහ රසවත් ආහාර ලබා දීමට අමතරව, අපි ශ්‍රී ලංකාවේ පොහොසත් සූපශාස්ත්‍ර සංස්කෘතිය ද බෙදා ගනිමු. මෙම ජයග්‍රහණය සඳහා අපට සහයෝගය දැක්වූ සෑම සංචාරකයෙකුටම අපි කෘතඥ වෙනවා” යනුවෙන් පැවසුවාය. ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ පියාසර කරන මගීන්ට ඔවුන්ගේ රුචිකත්වයට අනුව නිරන්තරයෙන් යාවත්කාලීන වන ආහාරපාන මෙනුවක් භුක්ති විඳිය හැකි අතර, සෑම ගමනාන්තයක්ම අද්විතීය ආහාර වේලක් පිරිනමයි. මෙම ගුවන් සේවය සම්බෝල, කිරිබත්, අතුරුපස, කොත්තු සහ කිරි ටොෆී, පොල් ටොෆී, තල ගුලි සහ බිබික්කන් වැනි රසකැවිලි ඇතුළු උසස්ම දේශීය කුළුබඩු සහ අමුද්‍රව්‍ය සමඟ සකස් කරන ලද සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය කෑම වර්ග අවධාරණය කරයි. ජාත්‍යන්තර විකල්ප සමඟින් රටේ ආහාර සංස්කෘතිය ප්‍රදර්ශනය කරමින් දේශීය බියර් වර්ග ද මෙහිදී ලබා ගත හැකිය. ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය නවීන Airbus A330-300 සහ A320/321neo යානා ඇණිය හරහා යුරෝපය, ඕස්ට්‍රේලියාව, මැද පෙරදිග, ඉන්දීය උපමහාද්වීපය, අග්නිදිග ආසියාව සහ ඈත පෙරදිග ප්‍රධාන නගර ආවරණය කරමින් ලොව පුරා රටවල් 61 ක ගමනාන්ත 120 ක් වෙත ගුවන් ගමන් සිදු කරයි.





















