ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවාවට නව පණක්: උතුරු ඇමරිකානු ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් නවීන TMS යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කෙරේ

ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ක්ෂේත්‍රයේ සුවිශේෂී ඉදිරි පියවරක් තබමින්, උතුරු ඇමරිකානු ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMANA) විසින් ‘Transcranial Magnetic Stimulation’ (TMS) වර්ගයේ නවීන වෛද්‍ය යන්ත්‍ර දෙකක් මෙරටට පරිත්‍යාග කර ඇත. මෙයින් එක් යන්ත්‍රයක් කොළඹ ජාතික රෝහලටත්, අනෙක් යන්ත්‍රය යාපනය ශික්ෂණ රෝහලටත් ලබා දී ඇති අතර, මේ හරහා දිවයින පුරා ව්‍යාප්ත වන පරිදි උසස් මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ක්‍රමවේදයන් හඳුන්වා දීමට අපේක්ෂිතය.​TMS යනු ශල්‍යකර්ම රහිත, චුම්බක තරංග මගින් මොළයේ ඇතැම් ප්‍රදේශ උත්තේජනය කරමින් දැඩි විෂාදය (Depression) ඇතුළු ස්නායු ආබාධ සඳහා ලබාදෙන ඇමරිකානු අනුමත (US-approved) ප්‍රතිකාර ක්‍රමයකි. සාමාන්‍ය ඖෂධවලින් සුව නොවන රෝගීන් සඳහා මෙම ප්‍රතිකාරය බෙහෙවින් සාර්ථක වන බව තහවුරු වී ඇත. ශ්‍රී ලංකාව තුළ මෙවැනි දියුණු ප්‍රතිකාර ක්‍රම සඳහා පවතින සීමිත ප්‍රවේශය පුළුල් කිරීම මෙහි අරමුණ බව SLMANA හි සභාපති වෛද්‍ය තාරික් පෙරේරා මහතා පෙන්වා දෙයි. කොළඹ ජාතික රෝහලේදී මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ වෛද්‍ය ෂෙහාන් විලියම්ස් මහතා විසිනි. විශේෂයෙන්ම මානසික සෞඛ්‍ය පහසුකම් අවම මට්ටමක පැවති උතුරු පළාතේ ජනතාවට යාපනය රෝහල හරහා මෙම පහසුකම ලැබීම සුවිශේෂී ජයග්‍රහණයකි.​මෙම වසරේ සිය 30 වන සංවත්සරය සමරන උතුරු ඇමරිකානු ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩු පියවීමට නිරන්තරයෙන් දායකත්වය සපයයි. ඉදිරි මාස කිහිපය තුළ මෙම යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එම ප්‍රතිකාර ක්‍රමවේදයන් නිසි පරිදි සිදු කිරීම සඳහා දේශීය මනෝ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමට ද පියවර ගෙන ඇත.

What's your reaction?

Related Posts

1 of 1,022

Leave A Reply

Your email address will not be published. Required fields are marked *