ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දියාවේ අමෙරිකානු තානාපති සර්ජියෝ ගෝර් (Sergio Gor) මහතා අතර විශේෂ සාකච්ඡාවක් නව දිල්ලියේදී පවත්වා ඇත. ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු වූ බව තානාපතිවරයා සඳහන් කළේය.X සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් තානාපතිවරයා පවසා සිටියේ, දෙරට අතර වාණිජ සබඳතා ශක්තිමත් කිරීම සහ සමීප සහයෝගීතාවය තුළින් කලාපීය ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි මෙම හමුවේදී ප්‍රමුඛත්වය ලැබුණු බවයි. “ශක්තිමත් හවුල්කාරිත්වයන් මගින් අපේ රටවලට සැබෑ ප්‍රතිඵල අත්කර දෙනවා,” යනුවෙන් ප්‍රකාශ කළ ඔහු, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ගැඹුරු කළ හැකි මාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ බව පෙන්වා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනට නව දිල්ලියේ පැවැත්වෙන ඉන්දියානු AI (කෘතිම බුද්ධි) සමුළුවට සහභාගී වීම සඳහා මෙම සංචාරයේ නිරතව සිටී.


























