ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්තය හමුවේ ලකුණු 51ක දරුණු පරාජයක්

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක සුපිරි 8 වටයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු තරගයේදීම ප්‍රබල එංගලන්තය හමුවේ ලකුණු 51ක දරුණු පරාජයක් අද (22) උරුම විය. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති මෙම ගැටුමේදී සංචාරක එංගලන්ත කණ්ඩායම ලබාදුන් ලකුණු 147ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දුවාර 16.4ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 95ක් පමණි.​මෙම පරාජයත් සමඟ විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාව ලැබූ පරාජයන් සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ ගියේය. දෙරට අතර මෙතෙක් පවත්වා ඇති ලෝක කුසලාන තරග 7කින් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණක් වීම විශේෂත්වයකි. එමෙන්ම, අද වාර්තා වූ ලකුණු 95ක දැවීයාම, ශ්‍රී ලංකා කණ්ඩායමක් තමන්ගේම රටේදී විස්සයි20 තරගයකදී වාර්තා කළ දෙවන අවම ලකුණු සංඛ්‍යාව ලෙස ඉතිහාසයට එක්විය.​සංඛ්‍යාලේඛන දෙස බැලීමේදී එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවේ අසාර්ථකත්වය තවදුරටත් තහවුරු වේ. මෙය ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය අඛණ්ඩව ලැබූ 12 වන විස්සයි20 ජයග්‍රහණයයි. 2012 වසරේ පැවති ලෝක කුසලාන තරගයෙන් පසු මේ දක්වා වසර 14ක කාලයක් තිස්සේ එංගලන්තය පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වී නොමැති අතර, මෙවරද එම ජයග්‍රාහී බලාපොරොත්තුව ගිලිහී ගියේය.​මෙවර ලෝක කුසලානයට පෙර සූදානමක් ලෙස දෙරට අතර මෙම ක්‍රීඩාංගණයේම පැවති විස්සයි20 තරගාවලියද 3-0ක් ලෙස ජයගැනීමට එංගලන්තය සමත් විය. එහි තෙවන තරගයේදී ලකුණු 129ක සාපේක්ෂව පහසු ඉලක්කයක් හඹා යාමට පවා ශ්‍රී ලංකා පිතිකරුවන් අපොහොසත් වීම තුළින් කණ්ඩායමේ පවතින පිතිකරණ දුර්වලතාවය මනාව පිළිඹිබු වූ අතර අද තරගයේදී ද එය නැවතත් ප්‍රදර්ශනය විය.​ශ්‍රී ලංකා ඉනිමේ කිසිදු පිතිකරුවෙකුට එංගලන්ත පන්දු යවන්නන් හමුවේ ස්ථාවර වීමට ඉඩක් නොලැබුණු අතර, මුල් පෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම පරාජයට ප්‍රධානතම හේතුව විය. පල්ලේකැලේ තණතීරුව පන්දු යවන්නන්ට යම් සහයක් දැක්වුවද, ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පහරවල් තේරීම ප්‍රේක්ෂකයින්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වන කරුණක් විය.​සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාවට ඉදිරියේදී තවත් තීරණාත්මක තරග කිහිපයකට මුහුණ දීමට ඇති බැවින්, මෙම පරාජයෙන් උගත් පාඩම් සමඟින් කණ්ඩායම නැවත මානසිකව ශක්තිමත් වීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම මැදපෙළ පිතිකරණය ස්ථාවර කර නොගතහොත් මෙවර ලෝක කුසලාන සිහිනය තවදුරටත් ඈතට යනු නිසැකය.

What's your reaction?

Related Posts

1 of 642

Leave A Reply

Your email address will not be published. Required fields are marked *