ශ්‍රී ලංකා කාන්තා බේස්බෝල් කණ්ඩායම ආසියානු කුසලානයට – ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඓතිහාසික අනුග්‍රහයක්

​ශ්‍රී ලංකා ජාතික කාන්තා බේස්බෝල් කණ්ඩායම හෙට (ඔක්තෝබර් 23) චීනය බලා පිටත්ව යාමට නියමිත ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ඇත. මෙය ශ්‍රී ලංකා බේස්බෝල් ඉතිහාසයේ, වසර 40කට පසු කාන්තා කණ්ඩායමක් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වන පළමු අවස්ථාව ලෙස සනිටුහන් වේ. තරගාවලිය ඔක්තෝබර් 26 වනදා සිට නොවැම්බර් 4 වනදා දක්වා පැවැත්වෙන අතර, ජපානය, කොරියාව සහ තායිවානය ඇතුළු ප්‍රධාන රටවල් දහයක් ඊට සහභාගී වීමට නියමිතය.​ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටදී අද පෙරවරුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා සමග සමූහ ඡායාරූපයකට එක්වීමෙන් පසු, මාධ්‍ය වෙත අදහස් දැක්වූ ප්‍රධාන පුහුණුකරු මලිඳු හේවගේ මහතා සඳහන් කළේ, සිය කණ්ඩායම තේරීම් තරගවලදී සාර්ථකව සුදුසුකම් ලැබූ බවයි.​මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ක්‍රීඩා හා යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසුවේ, වසර 40කට පසු ප්‍රථම වතාවට කාන්තා බේස්බෝල් කණ්ඩායමකට ජාත්‍යන්තර තරගයක් සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ සෘජු අනුග්‍රහය හිමි වූ බවයි. තරගාවලිය සඳහා අවශ්‍ය සියලුම පහසුකම් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ලබා දෙන බවත්, ඉදිරියේදී සෑම ක්‍රීඩාවකටම මෙලෙස සියලු පහසුකම් ලබා දීමට රජය කැපවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.​තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, හොඳ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීම සඳහා නව ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමට රජය සැලසුම් කර ඇති බවත්, දේශපාලන මැදිහත්වීම් සහ ක්‍රීඩාවෙන් මුදල් ඉපැයීමට කටයුතු කළ යුගය අවසන් කරමින් සිටින බවත් සඳහන් කළේය. ඊට අවශ්‍ය වන නීති රීති මේ වන විට සකස් කරමින් පවතින බවත්, ස්වාධීන ක්‍රීඩා සංගම්වලට අවස්ථාව ලබා දෙන බවත් ඒ මහතා පැවසීය. විදේශගතව රැඳී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන බවත්, ඔවුන්ට නැවත රටට පැමිණීමට අවශ්‍ය පහසුකම් නීතියට අනුව ලබා දෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 441

Leave A Reply

Your email address will not be published. Required fields are marked *