දහවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – නවසීලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා තේරී පත් විය. මෙම සංගමයේ පුනර්ජීවනය කිරීමේ හමුව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් මස 20 වැනි දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා මෙහි ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගී විය. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සහ පාර්ලිමේන්තු මහලේකම්, නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී විය. පාර්ලිමේන්තු මන්ත්‍රී තනූර දිසානායක මහතා සංගමයේ ලේකම් ලෙසත්, නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා හේරත් මහත්මිය භාණ්ඩාගාරික ලෙසත් තේරී පත් වූහ. මෙම හමුවේදී, අන්‍යෝන්‍ය ගෞරවය සහ හවුල් ප්‍රතිලාභ මත පදනම් වූ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතාව දෙපාර්ශවයම අවධාරණය කළහ. ක්‍රීඩා, සංචාරක, වෙළෙඳ, ශ්‍රම සහ අධ්‍යාපනය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. මේ දක්වා ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය වෙනුවෙන් කථානායකවරයා නවසීලන්ත රජයට සිය කෘතඥතාව ද පළ කළේය. නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා සංචාරක, වෙළෙඳ, සහ ක්‍රීඩා – විශේෂයෙන් කාන්තා ක්‍රිකට් සහ පිරිමි රග්බි – වැනි ක්ෂේත්‍රවල සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීමට නවසීලන්තයේ අභිප්‍රාය යළි තහවුරු කළේය. පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත පණගැන්වීම හවුල්කාරිත්වයේ විවිධ ක්ෂේත්‍ර හරහා සහයෝගීතාව තහවුරු කිරීමට සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් මුලපිරීම් ඉදිරියට ගෙන යාමට ඵලදායී වේදිකාවක් ලෙස ක්‍රියා කරනු ඇතැයි දෙපාර්ශ්වයම විශ්වාසය පළ කළහ. පාර්ලිමේන්තු සංචාරයේ කොටසක් ලෙස මහ කොමසාරිස්වරයා කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී සුහද සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී පාර්ලිමේන්තු මට්ටමින් වැඩි දියුණු කළ සහයෝගීතාව ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු විය.






















