ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය සනිටුහන් කරමින් සෞදි තැපැල් සේවාව (Saudi Post – SPL) විසින් සමරු තැපැල් මුද්දරයක් නිකුත් කර තිබේ. සෞදි අරාබියේ රියාද්හි විදේශ කටයුතු අමාත්‍යාංශයේදී 2025 නොවැම්බර් 09 වැනි දින පැවති ද්විපාර්ශ්වික හමුවකදී, සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් කුමරු නිල වශයෙන් මෙම මුද්දරය ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ සේවා නියුක්ති හා සංචාරක අමාත්‍ය විජිත් හේරත් මහතාට පිරිනැමීය. මෙම සමරු තැපැල් මුද්දරය නිකුත් කිරීම, දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි ශක්තිමත් සංකේතාත්මක අංගයක් බව පවසමින්, අමාත්‍ය විජිත් හේරත් මහතා සෞදි රජයට සිය අවංක ප්‍රසාදය පළ කළේය. මෙම අවස්ථාව දෙරට අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතාවන්හි ඓතිහාසික මොහොතක් සනිටුහන් කරන බවත්, මෙම සමරු මුද්දර තැපැල් සේවාවට වඩා වැඩි යමක් බවත්, එය දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ ගෞරවය මත පදනම් වූ මිත්‍රත්වයේ සහ හවුල්කාරිත්වයේ බැඳීම් පිළිබිඹු කරමින් ගොඩනගා ඇති පාලම් සිහිපත් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 50 වැනි සංවත්සරය සැමරීම සහ Vision 2030 යටතේ එන සෞදි හරිත මුලපිරීමට සහාය වීම සඳහා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහභාගීත්වයෙන් ‘ශ්‍රී ලංකා තානාපතිගේ ගස් සිටුවීමේ වැඩසටහනක්’ (Sri Lanka Ambassador’s Tree Planting Initiative) දියත් කළ බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා මෙහිදී අවධාරණය කළේය. මෙම ඓතිහාසික සන්ධිස්ථානය සැමරීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ සමරු ‘ලාංඡනයක්’ නිර්මාණය කර ඇති අතර, එය 2025 පෙබරවාරි 05 වන දින රියාද්හි සංස්කෘතික මාලිගයේදී පැවති රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමේ උත්සවයකදී එළිදක්වන ලදී. එම 50 වැනි සංවත්සර ලාංඡනය දැන් මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරමින් සෞදි තැපැල් සේවාව (SPL) විසින් සමරු තැපැල් මුද්දරයක් ලෙස නිකුත් කර ඇත.


























