ශ්‍රී ලාංකේය සිනමාවට වසර 100ක් සපිරීම නිමිත්තෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී ඉරංගනී සේරසිංහ මහත්මියගේ රුව රැගත් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් ඊයේ (21) ජාතික චිත්‍රපට සංස්ථාවේදී නිකුත් කෙරුණි. සිංහල සිනමාවට වසර 79ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවා වසර 54ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය වූ මෙම ජාතික උත්සවය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍ය ආරියරත්න මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. “1925 – 2025: ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස” යන තේමාව යටතේ නිකුත් වූ මෙම මුද්දරය, දේශීය සිනමාවට ඉරංගනී සේරසිංහයන් කළ අග්‍රගන්‍ය සේවයට උපහාරයක් ලෙස නම් කර ඇත.1925 වසරේ නිහඬ සිනමාවෙන් ඇරඹි ශ්‍රී ලාංකේය සිනමා ගමන්මග, 1947 වසරේ ප්‍රථම කතානාද චිත්‍රපටය වූ “කඩවුණු පොරොන්දුව” හරහා නව මානයකට පිවිස වසර හැත්තෑවකට අධික කාලයක් විවිධ අභියෝග මධ්‍යයේ ජාතික සංස්කෘතික උරුමයක් ලෙස විකාශනය වී ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි. මෙම ඓතිහාසික සිනමා ගමන්මග 2025 වසරේදී සියවස් සපුරන අතර, ඒ වෙනුවෙන් පැවැත්වූ මෙම උත්සවයේදී ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියාණි අමරසේන මහත්මිය ද “සිනමා සියවස” විශේෂ සම්මානයෙන් පිදුම් ලැබුවාය.රාජ්‍ය චිත්‍රපට සංස්ථාව සහ ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව සංවිධානය කළ මෙම උත්සවයේදී සුනිල් විජේසිරිවර්ධන මහතා විසින් සිනමා පරිණාමය පිළිබඳ විශේෂ දේශනයක් පවත්වන ලදී. ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සහ රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරුන්, තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම කලාකරුවන් සහ සිනමා කර්මාන්තයේ නියුතු විද්වතුන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


























