ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර විශේෂ හමුවක් අඟහරුවාදා කොළඹ ඉන්දියා නිවසේදී (India House) පැවැත්විණි. මෙහිදී දෙරට අතර ආපදා සහන සේවා, විනිවිදභාවය සහ දිගුකාලීන ආපදා කළමනාකරණ සහයෝගීතාව පිළිබඳව ගැඹුරින් සාකච්ඡා විය.සුළි කුණාටුවෙන් පසු ඉන්දියාව ක්‍රියාත්මක කළ ‘සාගර් බන්ධු’ (Operation Sagar Bandhu) මෙහෙයුම යටතේ ලබාදුන් සහය වෙනුවෙන් ප්‍රේමදාස මහතා සිය ස්තූතිය පිරිනැමීය. විශේෂයෙන් ඩොලර් මිලියන 100ක ප්‍රදානයක් සහ ඩොලර් මිලියන 350ක සහනදායී ණය මුදලක් ඇතුළු ඩොලර් මිලියන 450ක ආධාර පැකේජයක් ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට සහ ඉන්දීය ජනතාවට ඔහු කෘතඥතාව පළ කළේය.2004 සුනාමි ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාව නිසි පාඩම් ඉගෙන නොගැනීම සුළි කුණාටුවේදී සිදුවූ හානිය වැඩිකිරීමට හේතුවූ බව මෙහිදී පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, අනාගත අවදානම් අවම කිරීම සඳහා විධිමත් ජාතික උපායමාර්ගයක සහ වෙනමම ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක ඇති වැදගත්කම අවධාරණය කළේය. මෙයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය ජයශංකර් මහතා, 1999 ඔඩිෂා සුළි කුණාටුවෙන් පසු ඉන්දියාව ලබාගත් අත්දැකීම් සහ එමඟින් ගොඩනැගූ ශක්තිමත් ආපදා සූදානම් වීමේ පද්ධතිය පිළිබඳව කරුණු පැහැදිලි කළේය. එම ආකෘතීන් අනුගමනය කිරීමෙන් අනාගතයේදී ජීවිත හානි අවම කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.ඉන්දියාව ලබාදෙන ආධාර විනිවිදභාවයකින් යුතුව මහජනතාව වෙත ගලා යා යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළ අතර, ආධාර බෙදා හැරීමේදී වගවීම සහ කාර්යක්ෂමතාව තහවුරු කිරීම සඳහා විපක්ෂයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවට සජිත් ප්‍රේමදාස මහතා සහතික විය. ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුත්ථාපන කටයුතු සහ අනාගත ආපදා ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහා ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ඔහු තවදුරටත් ඉල්ලා සිටියේය. දෙපාර්ශවයේම ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී වූ මෙම සාකච්ඡාව ඉතා සුහදව නිමාවට පත් විය.


























