ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු මෙරට දුරකථන හා අන්තර්ජාල සන්නිවේදන ජාලයන් හෙට (දෙසැම්බර් 04) දිනය වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේය. ඒ වෙනුවෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සහ සියලුම සන්නිවේදන සමාගම් දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරමින් සිටින බවද ඒ මහතා සඳහන් කළේය.නාය යෑම් සහ ජල ගැලීම් නිසා ස්ථාන එකොළහකදී පළාත් සම්බන්ධ කරන ප්‍රධාන ෆයිබර් ජාලය විසන්ධි වී තිබූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඉන් ස්ථාන නවයක් පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීමෙන් පිළිසකර කර ඇති අතර, මේ වන විට සියලුම පළාත් ආවරණය වන පරිදි විදුලි සංදේශ ක්‍රියාවලිය යාවත්කාලීන කර තිබේ.ජල ගැලීම් සහ නාය යෑම් නිසා ඇති වූ විදුලි බිඳ වැටීම් සහ ෆයිබර් සම්බන්ධතා විසන්ධි වීම හේතුවෙන් ප්‍රධාන සම්ප්‍රේෂණ කුළුණු 4000කට වැඩි ප්‍රමාණයක් අක්‍රීය වී තිබුණි. කෙසේ වෙතත්, මේ වන විට එම කුළුණු අතුරින් 2800ක් පමණ නැවත ක්‍රියාකාරී තත්ත්වයට පත් කර ඇති බව එරංග වීරරත්න මහතා සඳහන් කළේය.අක්‍රීයව පවතින ඉතිරි කුළුණු අතරින් 949ක් පමණක් විදුලිය විසන්ධි වීම හේතුවෙන් ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක පවතී. එම ඉතිරි ස්ථාන සියල්ල හැකි ඉක්මනින් සක්‍රීය තත්ත්වයට ගෙන ඒම සඳහා විදුලි සංදේශන ආයතන ඉතා කඩිනමින් ක්‍රියා කරමින් සිටින අතර, ඒ සඳහා ටෙලිකොම් කුළුණුවලට අවශ්‍ය විදුලි පහසුකම් ලබා දීම සඳහා ත්‍රිවිධ හමුදාවේ උපරිම සහාය ද ලැබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.මේ මොහොතේ නුවරඑළිය, බදුල්ල, පුත්තලම සහ වවුනියාව යන ප්‍රදේශවල සන්නිවේදන ගැටලුකාරී තත්ත්වයක් පවතින අතර, නුවරඑළිය සහ නුවර ප්‍රදේශවල තරමක් සැලකිය යුතු මට්ටමේ ගැටලු ඇති බව හඳුනාගෙන තිබේ. කෙසේ වෙතත්, හෙට උදෑසන වන විට නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවල සබඳතා සියයට 75කට වඩා සක්‍රීය කිරීමටත්, නුවර පවතින සියයට 65ක පමණ සක්‍රීයතාව සියයට 70ක් දක්වා ගෙන ඒමටත් අපේක්ෂා කරන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.ජනතාවට තම හිතමිතුරන් සමඟ සබඳතා ඇති කර ගැනීම සඳහා සන්නිවේදනය අත්‍යවශ්‍ය වන බැවින්, දැනට සියයට 80කට වඩා වැඩි ප්‍රමාණයක් ගැටලුව නිරාකරණය කර ඇති බවත්, අනිද්දා දිනය වන විට එය සියයට 100ක් දක්වා පිළිසකර කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවසාන වශයෙන් පැහැදිලි කළේය.


























