ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් නුවර පැවැති 41 වන ලෝක විවාහක රූ රැජින (Miss World Married Woman) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සබීනා යූසුෆ් මහත්මිය අද අලුයම දිවයිනට පැමිණියාය. රටවල් 60ක තරගකාරිනියන් පරාජය කරමින් එහි තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වූ ඇය, තරගාවලියේ කැපී පෙනෙන ජයග්‍රහණයක් වන ‘Miss Photogenic’ කිරුළ ද තමන් සතු කර ගත්තාය. ජනවාරි 22 සිට 29 දක්වා පැවැති මෙම ජාත්‍යන්තර තරගාවලිය නිමවා ඇය අද අලුයම 2.45 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වූවාය.ගුවන් තොටුපළ “ගෝල්ඩ් රූට්” පර්යන්තයේදී ඇයව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, ඒ සඳහා තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ, ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ගෞරවයක් අත්කර දෙමින් පැමිණි ඇයව පිළිගැනීමට හිතමිතුරන් සහ හිතවතුන් රැසක් ගුවන් තොටුපළට රැස්ව සිටීම විශේෂත්වයකි.


























