මෙරට වෙළෙඳපොළේ පවතින සම්බා සහ කීරි සම්බා සහල් හිඟයට කඩිනම් පිළියමක් ලෙස, ඒ සඳහා ආදේශ කළ හැකි විකල්ප සහල් වර්ග මෙට්‍රික් ටොන් 1,040ක ප්‍රමාණයක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 2025/26 මහ කන්නයේ සහල් නිෂ්පාදනය දේශීය අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් නොවන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් ලබාදුන් දත්ත මත පදනම්ව මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව, පොන්නි සම්බා සහ කිරි/පොල් පොන්නි (GR 11) වැනි සහල් වර්ග මෙරටට ගෙන්වා පාරිභෝගිකයාට අඛණ්ඩව සහල් සැපයීමට රජය අපේක්ෂා කරයි.මෙම ආනයන ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා විශේෂ සහන කිහිපයක් ද හඳුන්වා දී ඇති අතර, ආනයනකරුවන්ට බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් වීමට අවස්ථාව ලබා දී ඇත. ඕනෑම ආනයනකරුවෙකුට 2026 අප්‍රේල් මස 01 වනදා සිට 30 වනදා දක්වා කාලය තුළ මෙම සහල් තොග ඇණවුම් කළ හැකි අතර, එම තොග 2026 මැයි 31 වනදාට පෙර රේගුවෙන් නිදහස් කරගත යුතු බවට කොන්දේසි පනවා තිබේ. කෘෂිකර්ම අමාත්‍යවරයා සහ වෙළෙඳ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම ඒකාබද්ධ යෝජනාව හරහා සහල් මිල ස්ථාවරව පවත්වා ගැනීමට රජය සැලසුම් කර ඇත.ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වන්නේ ලබන මැයි මාසය වන විට වෙළෙඳපොළේ ඇතිවිය හැකි සහල් හිඟය මඟහරවා ගැනීමයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මැදිහත්වීමෙන් සිදුකරන මෙම මෙහෙයුම මඟින් සහල් මාෆියාවන් පාලනය කරමින් සහනදායී මිලට සහල් ලබාදීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ. මෙරට කෘෂිකාර්මික අංශය ශක්තිමත් කරන අතරතුර, හදිසි හිඟයන් හමුවේ ජනතාව පීඩාවට පත්වීම වැළැක්වීම රජයේ මෙම පියවරෙහි මූලික අභිලාෂයයි.























