සමුපකාර වෙළඳසැල් හරහා මසකට රුපියල් 10,000කට වඩා වැඩි භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන් සඳහා රුපියල් 300,000ක ජීවිත රක්ෂණ ආවරණයක් ලබාදීමට පියවර ගන්නා බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. පාරිභෝගිකයන් දිරිමත් කිරීම වෙනුවෙන් හඳුන්වා දෙන මෙම වැඩපිළිවෙළට අමතරව, සමුපකාර සේවකයන් සඳහා ද ජීවිත රක්ෂණ ආවරණයක් පිරිනැමීමටත්, ඔවුන්ට සෑහීමකට පත්විය හැකි මට්ටමේ වැටුපක් තහවුරු කිරීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.අනුරාධපුර විවිධ සේවා සමුපකාර සමිතියේ මහා මණ්ඩලයට නියෝජිතයන් තේරී පත් කර ගැනීම සඳහා ඊයේ (07) පැවැති ප්‍රාදේශික විසිපහේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එමෙන්ම, සමුපකාර ක්ෂේත්‍රය තුළ මෙතෙක් සිදුව ඇති වංචා සහ දූෂණ සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.


























