සමෘද්ධි ප්‍රජා මූලික බැංකු සහ සමෘද්ධි ප්‍රජා මූලික බැංකු සමිතිවල විගණන කටයුතු 2026 වසරේ සිට විගණකාධිපතිවරයා වෙත අලුතින් පවරා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම තොරතුර මෑතකදී රැස් වූ පොදු මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේදී අනාවරණය වී තිබේ. කාරක සභාව ජාතික විගණන කාර්යාලයේ 2026 වාර්ෂික වැඩසටහනද සලකා බැලූ අතර, ඒ අනුව එම වසරේදී මූල්‍ය විගණන 3,484ක්, කාර්ය සාධන විගණන 11ක්, එක් පාරිසරික විගණනයක් සහ විශේෂ විගණන 12ක් ඇතුළු සමස්ත විගණන 3,508ක් සිදු කිරීමට නියමිතය. මෙම සමෘද්ධි විගණන කටයුතු සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල ධාරිතාව සම්බන්ධයෙන් කාරක සභාව විසින් ගැටලු මතු කරන ලදී. වැඩබලන විගණකාධිපතිවරයා ප්‍රකාශ කළේ, දැනට සිටින කාර්ය මණ්ඩලයට වඩා අමතරව 10% – 15%ක කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වන බවයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නියමු විගණන කටයුතු ප්‍රාදේශීය කාර්යාල මගින් දැනට සිදු කරන බවත්, එය පෙබරවාරි මස අවසානය දක්වාම ක්‍රියාත්මක වන බවත්, ඉන් අනතුරුව බඳවා ගැනීම් හෝ බාහිරින් සේවා ලබා ගැනීම් මඟින් සත්‍ය ධාරිතා අවශ්‍යතා තීරණය කරන බවත් ඔහු කාරක සභාවට දැනුම් දුන්නේය.


























