පොරොන්දු වූ පරිදි ජනතාව වෙනුවෙන් සිය වගකීම ඉටු කරමින්, ‘සර්වජන බලය’ පක්ෂයේ නායකත්වය සහ විධායක සභාව මැදගොඩ අභයතිස්ස නාහිමියන්ගෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුව මෙවර අලුත් අවුරුදු නැකත් සීට්ටුව සකස් කර ජනගත කිරීමට පියවර ගෙන ඇත. ප්‍රවීණ ජ්‍යොතිෂවේදීන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැපලියාන සුනෙත්‍රා මහා දේවී පිරිවන් විද්‍යායතනයේදී අද (14) පෙරවරුවේ නිල වශයෙන් එළිදැක්වූ මෙම නැකත් මාලාව “සර්වජන ලිත” ලෙස ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා සිටින ජනතාව අතට පත් කිරීමට කටයුතු යොදා තිබේ. සාම්ප්‍රදායික වතාවත්වලට මුල්තැන දෙමින් සකස් කළ මෙම ලිත මගින් එළඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද නිවැරදි චාරිත්රයන්ට අනුව සැමරීමට ජනතාවට අවස්ථාව උදාවනු ඇත.මෙහිදී මාධ්‍ය ඇමතූ සර්වජන බලය නායක දිලිත් ජයවීර මහතා වත්මන් පාලනය දැඩි විවේචනයට ලක් කරමින් කියා සිටියේ, රජයට ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට ලබා දුන් කාලය දැන් අවසන් වී ඇති බවයි. අතීතයේදී හෙළ ඇදහිලි සහ නාත දෙවියන් වැනි සංකල්ප විවේචනය කළ පිරිස්වලට අද වන විට තමන් පත් කරගත් නායකයින්ට සෙත් පතා දේවාල කරා යාමට සිදු වී ඇති බවත්, මෙය දෛවයේ සරදමක් බවත් ඔහු අවධාරණය කළේය. පටු දේශපාලන වාසි තකා ජනතාව මුලාවේ දැමූ පාලකයින්ට එරෙහිව ජනතා බලවේගය ගොඩනැගීමට කාලය එළඹ ඇති බව පෙන්වා දුන් ඒ මහතා, සර්වජන ලිත හරහා ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාවය සුරක්ෂිත කිරීමට තම පක්ෂය නිරන්තරයෙන් පෙනී සිටින බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


























