කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය අතර පැවැත්වෙන 2026 ‘කාට්මන් කුසලානය’ සහ ‘ලූක් පලිහ’ වෙනුවෙන් වූ නිල මාධ්‍ය හමුව පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. වසර ගණනාවක සිට දෙවිදුහල් අතර පවතින සුහදශීලී ක්‍රීඩා සබඳතාවය යළිත් අලුත් කරමින්, මෙවර තරගාවලිය සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව මෙහිදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.දෙදින තරගයක් ලෙස පැවැත්වෙන ‘කාට්මන් කුසලාන’ මහා ක්‍රිකට් සංග්‍රාමය එළඹෙන මාර්තු 20 සහ 21 යන දිනවල කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. අනතුරුව දෙවිදුහල් අතර තීරණාත්මක එක්දින තරගය වන ‘ලූක් පලිහ’ වෙනුවෙන් වූ සටන අප්‍රේල් 11 වනදා එස්.එස්.සී. (SSC) ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. මෙම අවස්ථාවට දෙවිදුහලේ විදුහල්පතිවරුන් වන අවංක ප්‍රනාන්දු මහතා සහ රෙවරන් ෆාදර් නිරාන් පෙරේරා යන මහත්වරුන් ඇතුළු ආදි සිසුන් පිරිසක් එක්ව සිටියහ.මෙම මාධ්‍ය හමුවේ විශේෂත්වය වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රවීණ ක්‍රීඩකයන් වන රොෂාන් මහනාම සහ ෆර්වීස් මහරුෆ් යන මහත්වරුන්ගේ සහභාගීත්වයයි. ඔවුන් දෙදෙනාගේ පැමිණීම ක්‍රීඩකයන්ට මෙන්ම සංවිධායක මණ්ඩලයටද විශාල දිරියක් විය. මෙහිදී කණ්ඩායම් දෙකෙහි නිල ජර්සි (Jersey) එළිදැක්වීම සහ අනුග්‍රාහක භවතුන් විසින් ලබාදුන් මූල්‍ය දායකත්වයට අදාළ චෙක්පත් ප්‍රදානය කිරීමද චාරිත්‍රානුකූලව සිදු කෙරිණි.තරගාවලියට අදාළ කුසලාන නිරාවරණය කිරීමද මෙහිදී සිදු වූ අතර, එය උත්සවයේ වඩාත් ආකර්ෂණීය අවස්ථාව බවට පත් විය. දෙවිදුහලේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සහ ආදි සිසුන් මහත් උනන්දුවෙන් බලාපොරොත්තු වන මෙම තරගාවලිය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි සංවිධායක මණ්ඩලය විශ්වාසය පළ කරයි.


























