එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ප්රමුඛ පෙළේ ජ්‍යෝතිඃ ශාස්ත්රඥයින්ගේ සහ පංචාංග ලිත සම්පාදකවරුන්ගේ එකඟතාවයෙන් සැකසූ ඒකාබද්ධ නැකත් පත්‍රය හෙට (17) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා නිවේදනය කළේය. ඒ අනුව, ආපා පංචාංග ලිත සම්පාදක ඉන්දික ආපා සෙනෙවිරත්න, තිරස පංචාංග ලිත සම්පාදක චමත් කොතලාවල සහ විකල්ප පංචාංග කණ්ඩායම්වල නියෝජිතයින් අතර ඇති වූ එකඟතාවයකින් පසුව මෙම ඒකාබද්ධ නැකත් පත්‍රය රජයේ නිල ප්රකාශනය ලෙස මුද්‍රණය කර මහජනතාව වෙත නිකුත් කිරීමට නියමිතය.පසුගිය කාලය පුරා නැකත් සම්බන්ධයෙන් විවිධ පාර්ශව අතර පැවති නොසන්සුන්කාරී තත්ත්වය සමනය කරමින්, සියලු දෙනාට පිළිගත හැකි නැකත් පත්‍රයක් සකස් කිරීම සඳහා ප්‍රවීණ ජ්‍යෝතිඃ ශාස්ත්රඥයින් දාහත් දෙනෙකුගේ සහභාගීත්වයෙන් පසුගිය සතියේ විශේෂ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත. 2024 වසරේදී රාජ්‍ය නැකත් කමිටුව විසුරුවා හැරීමෙන් පසු මතු වූ ගැටලුවලට පිළියමක් ලෙස මෙම පියවර ගෙන ඇති අතර, නව නැකත් පත්‍රය වඩාත් විශ්වසනීයත්වයෙන් යුතුව හෙට දිනයේදී රටට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


























