අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය යටතේ, පාසල් පෙළපොත් සහ විෂයමාලා සකස් කරන නිලධාරීන් ඉලක්ක කරගනිමින් විශේෂ සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශන සංග්‍රහයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳ මූලික එකඟතාවන්ට එළඹ තිබේ. විශේෂයෙන්ම 6 සිට 13 ශ්‍රේණි දක්වා අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම පියවර ගැනේ.මෙහිදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ සිසුන්ගේ ඩිජිටල් යහපැවැත්ම (Digital Wellbeing) තහවුරු කිරීම සඳහා විෂය නිර්දේශ සම්පාදනය කරන නිලධාරීන් සයිබර් ආරක්ෂණය පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කළ යුතු බවයි. ඒ අනුව, මාර්ගගත ආරක්ෂාව සහ නවීන තාක්ෂණය භාවිතයේදී අනුගමනය කළ යුතු ප්‍රමිතීන් ඇතුළත් විධිමත් මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සකස් කරන ලෙස ඇය අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් කාර්ය සාධන බලකාය සහ සයිබර් ආරක්ෂණ කාර්ය කණ්ඩායම සමඟ පැවැති මෙම හමුවේදී, නවීන ලෝකයේ අභියෝගයන්ට මුහුණ දිය හැකි ආරක්ෂිත ඩිජිටල් අධ්‍යාපන පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය. මින් ඉදිරියට පෙළපොත් සහ අධ්‍යාපන මෙවලම් නිර්මාණය කිරීමේදී මෙම නව මාර්ගෝපදේශ දැඩි ලෙස සැලකිල්ලට ගනු ඇත.


























