සිසු සැරියට ඒසී බස්: සිසු ප්‍රවාහනයට රජයෙන් නව මුහුණුවරක්

පාසල් දරුවන්ගේ ප්‍රවාහන පහසුකම් ඉහළ නැංවීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, සිසු සැරිය බස් සේවාව යටතේ මෙතෙක් ගෙවන ලද කිලෝමීටර් දීමනාව ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බවයි. සිසුන්ට වඩාත් සුවපහසු සහ ආරක්ෂිත ගමනාගමන සේවාවක් ලබා දීමේ අරමුණින් ඉදිරියේදී වායුසමනය කළ (AC) බස් රථ සිසු සැරිය සඳහා එක් කිරීමට ද බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.​පසුගිය කාලසීමාව තුළ සිසු ප්‍රවාහනයේදී සිදුවූ රිය අනතුරු සහ පවතින බස් රථ හිඟය කෙරෙහි රජයේ දැඩි අවධානය යොමුව ඇති බව මෙහිදී අනාවරණය විය. විදේශ රටවල ක්‍රියාත්මක වන උසස් ප්‍රවාහන මාදිලි පිළිබඳව අධ්‍යයනය කරමින්, දරුවන්ට ආරක්ෂිතව පාසලට පැමිණීමටත් නැවත නිවසට යාමටත් අවශ්‍ය පසුබිම සකස් කිරීම රජයේ ප්‍රතිපත්තිය බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. මේ හරහා සෑම දරුවෙකුටම සමාන ප්‍රවේශයක් සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් සහතික කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ වී තිබේ.​පසුගිය වසරට සාපේක්ෂව මෙවර අයවැය මගින් සිසු සැරිය සේවාව වෙනුවෙන් වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇති බව ද ආචාර්ය මධුර සෙනවිරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නේය. පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමේදී පවතින අඩුපාඩු මඟහරවා ගනිමින්, වඩාත් විධිමත් මෙන්ම කාර්යක්ෂම බස් රථ සේවාවක් රට පුරා ව්‍යාප්ත කිරීමට මේ යටතේ කටයුතු යොදා ඇත.

What's your reaction?

Related Posts

1 of 1,046

Leave A Reply

Your email address will not be published. Required fields are marked *