“සුරකිමු ලංකා” පාසල් බලශක්ති මෙහෙයුම ඇරඹෙයි

බලශක්ති සංරක්ෂණය පාසල් සංස්කෘතියේ කොටසක් බවට පත්කිරීමේ අරමුණින් දියත් කෙරෙන “සුරකිමු ලංකා” ජාතික වැඩසටහනේ බස්නාහිර පළාත් උත්සවය අද (09) කොට්ටාව ධර්මපාල විද්‍යාලයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන මෙම වැඩසටහන දිවයිනේ සියලුම රජයේ සහ පෞද්ගලික පාසල් මෙන්ම පිරිවෙන් ද ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ.​ගෝලීය බලශක්ති අර්බුදය සහ දැනට පවතින වියළි කාලගුණය හමුවේ දේශීය බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අභිප්‍රායයි. සිසුන් තුළ ඇති කරන මෙම ආකල්පමය වෙනස ඔවුන් හරහා දෙමාපියන්ට සහ සමස්ත සමාජයටම ගලා යාමට සැලැස්වීම මෙහි ඇති සුවිශේෂී උපායමාර්ගයකි. පාසල් පද්ධතිය තුළ පාරිසරික තිරසාරභාවය වර්ධනය කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත.​මෙහිදී විදුලි උත්පාදන මූලාශ්‍ර, උපරිම ඉල්ලුම පවතින වේලාවන්හිදී විදුලිය ඉතිරි කරගන්නා ආකාරය සහ කාර්යක්ෂම විදුලි උපකරණ තෝරාගැනීම පිළිබඳව විද්වත් දේශන පවත්වන ලදී. අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති විශේෂ චක්‍රලේඛයට අනුව, ගෝලීය බලශක්ති අභියෝගයන්ට මුහුණ දෙන ආකාරය පිළිබඳව සම්පත්දායකයින් විසින් සිසුන්ව සක්‍රීයව දැනුවත් කරන ලදී.​සිසුන්ගේ නිර්මාණශීලීත්වය මේ සඳහා දායක කරගනිමින් “බලශක්ති සුරැකුම් වැට” ප්‍රදර්ශන පුවරු, බලශක්ති ලොග් සටහන් පොත් සහ “තත්පර හැටේ අදහස” වැනි නව්‍ය ක්‍රියාකාරකම් රැසක් පාසල් තුළ හඳුන්වා දී ඇත. චිත්‍ර, රචනා සහ නාට්‍ය හරහා බලශක්ති සංරක්ෂණ පණිවිඩය සමාජගත කිරීමට මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරේ.​එමෙන්ම පවතින අධික උෂ්ණත්වය හමුවේ සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය මෙහෙයුම් වෙනස්කම් ද මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ. මෙම අවස්ථාවට සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ක්ලීන් ශ්‍රී ලංකා ආයතනයේ ඉහළ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

What's your reaction?

Related Posts

1 of 1,088

Leave A Reply

Your email address will not be published. Required fields are marked *