ඉතා දුෂ්කර බාධක මධ්‍යයේ ආරම්භ වූ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව, දශකයක කාලයක් සම්පූර්ණ කරමින් අද වන විට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ දැවැන්ත ස්ථාවරත්වයක් අත්පත් කරගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.මෙතෙක් කාලයක් පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය සුවසැරිය ප්‍රධාන කාර්යාලය, රජයේ වියදම් අවම කිරීමේ ප්‍රතිපත්තිය යටතේ කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ පිහිටි රජයට අයත් ගොඩනැගිල්ලක අද දින ස්ථාපිත කෙරිණි.මෙම ස්ථාන මාරුව හරහා පෞද්ගලික ගොඩනැගිලි සඳහා රජය වැය කළ රුපියල් මිලියන 25ක වාර්ෂික කුලී පිරිවැය ඉතිරි කර ගැනීමට හැකි වන අතර, එය ජාතික ආර්ථිකයට විශාල සහනයක් වනු ඇත.නව කාර්යාල පරිශ්‍රය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙය හුදෙක් ගොඩනැගිල්ලක් මාරු කිරීමක් නොව, රාජ්‍ය සම්පත් නිසි ලෙස කළමනාකරණය කරන නව දේශපාලන සංස්කෘතියක ආරම්භයක් බවයි.මෙරට බොහෝ සංවර්ධන ව්‍යාපෘති ආණ්ඩු මාරුවීමත් සමඟ අතරමඟ නතර වුවද, සුවසැරිය වැනි ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ වගකීමක් බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.ආරම්භක අවධියේදී මෙම සේවාව සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ සෘණාත්මක මතවාද ඇති කිරීමට ඇතැමුන් උත්සාහ කළද, ඒ සියලු අභියෝග ජය ගනිමින් අද වන විට එය ලෝකයේම පැසසුමට ලක්ව තිබේ.මෙම සේවාව මෙතරම් දුරක් රැගෙන ඒමට කැපවූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායම අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක් වූ අතර, එය “කුඩා දරුවෙකු පෝෂණය කර ලොකු මහත් කිරීමට” සමාන මෙහෙවරක් බව ඔහු පැවසීය.එමෙන්ම සුවසැරිය ආරම්භ කිරීමට මූල්‍ය හා තාක්ෂණික දායකත්වය ලබාදුන් ඉන්දීය රජයටත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාටත් ශ්‍රී ලංකා රජයේ කෘතඥතාව හිමි විය.ඉදිරියේදී සුවසැරිය බලඇණිය ශක්තිමත් කිරීම සඳහා තවත් ගිලන් රථ ලබාදීමට ඉන්දීය රජය කැමැත්ත පළ කර ඇති බවත්, එමඟින් සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ යන බවත් මෙහිදී අනාවරණය විය.ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් නව කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇති අතර, ඒ සඳහා දායක වූ නාවික හමුදා නිලධාරීන් වෙනුවෙන් අමාත්‍යවරයා අතින් උපහාර ලිපි ප්රදානය කිරීම ද සිදු විය.දිනකට දුරකථන ඇමතුම් 5,000කට අධික සංඛ්‍යාවක් හසුරුවන මෙම සේවාව, දෛනිකව රෝගීන් 1,050කට අධික පිරිසකට පූර්ව රෝහල් හදිසි සත්කාරක සේවා සපයමින් ජීවිත දහස් ගණනක් සුරක්ෂිත කරයි.ලෝක බැංකුව විසින් ලොව වේගවත්ම සහ කාර්යක්ෂම ගිලන් රථ සේවාවක් ලෙස ඇගයීමට ලක් කර ඇති සුවසැරිය, මේ වන විට දිවයින පුරා ගිලන් රථ 322ක් සමඟ සිය මෙහෙයුම් දියත් කරයි.2026 වසර අවසානය වන විට මෙම සේවාව තවදුරටත් පුළුල් කරමින්, දිවයින පුරා පොලිස් ස්ථාන 400ක් කේන්ද්‍ර කරගනිමින් ගිලන් රථ ස්ථාපිත කිරීමට වත්මන් රජය සැලසුම් කර තිබේ.මෙම විශේෂ අවස්ථාවට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.





















