සුළි කුණාටුවෙන් පසු නාවික හමුදාවෙන් දැවැන්ත සහන සහ ප්‍රතිසංස්කරණ මෙහෙයුම්

සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දැඩි ගංවතුර තත්ත්වයත් සමඟ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් පාලම් කිහිපයක රැඳී තිබූ දැවැන්ත අපද්‍රව්‍ය හා ශාක කොටස් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුම් ශ්‍රී ලංකා නාවික හමුදාව සාර්ථකව නිම කර ඇත. පේරාදෙණිය “යකා පාලම” අසල රැඳී තිබූ බාධා කිරීම් ඉවත් කිරීම සඳහා දෙසැම්බර් 04 වනදා මෙහෙයුම් ආරම්භ කළ නාවික හමුදා කිමිදුම් කණ්ඩායම, දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ එක්ව දෙසැම්බර් 17 වන විට එම කටයුතු අවසන් කිරීමට සමත් විය. මීට අමතරව, ගැටඹේ ජල පිරිපහදු මධ්‍යස්ථානයට ජලය සපයන ප්‍රධාන නල පද්ධතියට තර්ජනයක්ව තිබූ නිල්ලඹ, කළුගමුව පාලමේ රැඳී තිබූ අපද්‍රව්‍ය ද දෙසැම්බර් 14 වනදා වන විට ඉවත් කර ජල සැපයුම සුරක්ෂිත කිරීමට නාවික හමුදාව කටයුතු කළේය.​පසුගිය නොවැම්බර් 22 වනදා සිට ක්‍රියාත්මක වන නාවික හමුදා මානුෂීය ආධාර සහ සහන සේවා මෙහෙයුම් (HADR) යටතේ මේ වන විට පුද්ගලයින් 1,378 දෙනෙකු අනතුරුදායක තත්ත්වයන්ගෙන් බේරාගෙන ඇති අතර, 18,301 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ. එමෙන්ම අත්‍යවශ්‍ය සේවා යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින්, දෙසැම්බර් 18 වනදා වන විට පීඩාවට පත් ප්‍රදේශවල පානීය ජල ළිං 1,025ක්, පොදු ස්ථාන 104ක් සහ නිවාස 83ක් පිරිසිදු කර ජනතාවට භාර දී ඇත. මෙම පුළුල් සහන සේවා මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 894

Leave A Reply

Your email address will not be published. Required fields are marked *