සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් දියත් කරන ලද මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම (HPP) යටතේ පුද්ගලයින් 240,000 කට අධික පිරිසකට සහන සලසා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරයි. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි 2025 දෙසැම්බර් 11 වන දින ආරම්භ කරන ලද මෙම වැඩපිළිවෙළ මගින් 2026 අප්‍රේල් මාසය දක්වා කාලය තුළ වඩාත් අවදානමට ලක් වූ පුද්ගලයින් 658,000 කට සහාය වීම ඉලක්ක කර ඇත. දිස්ත්‍රික්ක 25 ක් පුරා සහන සේවා ආයතන 69 ක් මගින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, ප්‍රතිලාභීන්ගෙන් බහුතරය කාන්තාවන් සහ ආබාධිත පුද්ගලයින් වීම විශේෂත්වයකි.පීඩාවට පත් වූවන්ගේ අවතැන්වීම් යම් ප්‍රමාණයකට අඩුවී ඇතත්, පුද්ගලයින් 155,000 කට අධික පිරිසක් තවමත් අවතැන්ව සිටින අතර ඔවුන් නෑදෑ හිතවතුන්ගේ නිවෙස්වල හෝ විකල්ප ස්ථානවල රැඳී සිටිති. මේ වන විට බදුල්ල, නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ආරක්ෂිත මධ්‍යස්ථාන 42 ක පවුල් 1,100 කට ආසන්න ප්‍රමාණයක් වාසය කරති. කොළඹ, මහනුවර සහ මාතලේ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ආරක්ෂිත මධ්‍යස්ථානවල අවශ්‍යතා ඇගයීම් සිදු කර ඇති අතර, අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීම සඳහා ප්‍රජා මට්ටමින් ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීමට ප්‍රමුඛතාවය ලබා දී ඇත.අවතැන් වූවන් කළමනාකරණය සඳහා බදුල්ල, කෑගල්ල සහ නුවරඑළිය යන ප්‍රදේශවල කූඩාරම් ආශ්‍රිත කඳවුරු සැලසුම් කරමින් පවතින අතර, මේ සඳහා අවශ්‍ය තාක්ෂණික පුහුණුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්ට සහ ග්‍රාම නිලධාරීන්ට ලබා දීමට පියවර ගෙන ඇත. එසේම, හදිසි සහන වැඩසටහන් වලදී පීඩාවට පත් ජනතාව කෙරෙහි පවතින වගවීම (AAP) ඉහළ නැංවීමට රජයේ නිලධාරීන් දැනුවත් කිරීමේ සැසි ද පවත්වා තිබේ.මෙම සමස්ත සහන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 35.3 ක මුදලක් අවශ්‍ය වුවද, මේ දක්වා ලැබී ඇත්තේ ඩොලර් මිලියන 22.4 ක් පමණි. විශේෂයෙන්ම සෞඛ්‍ය, කෘෂිකර්ම, පෝෂණය සහ අධ්‍යාපන යන ක්ෂේත්‍ර සඳහා තවදුරටත් ප්‍රතිපාදන අවශ්‍යව පවතින බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.


























