සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වූ බලපෑම පිළිබඳව අධ්‍යයනය කිරීමට සහ මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිස සිය නිල සංචාරය අද අවසන් කළහ. පසුගිය ජනවාරි 22 වනදා දිවයිනට පැමිණි මෙම දූත පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, කම්කරු, මුදල් සහ සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ අනෙකුත් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මුණගැසී පුළුල් ලෙස සාකච්ඡා පවත්වන ලදී. මීට අමතරව, සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආර්ථික හා සමාජීය බලපෑම් තක්සේරු කිරීම සඳහා රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය සහ සිවිල් සංවිධාන සමඟ ද ඔවුහු අදහස් හුවමාරු කරගත්හ.සංචාරය අවසානයේ අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා සඳහන් කළේ, යටිතල පහසුකම් සහ ජීවනෝපායන්ට සිදු වූ හානිය, ස්වාභාවික විපත් සඳහා වන මූල්‍ය ප්‍රතිචාර, මුදල් ප්‍රතිපත්තිය සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ බවයි. ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ‘විස්තීරණ අරමුදල් පහසුකම’ (EFF) යටතේ ලබාගත හැකි සහයෝගය සහ අනාගත ප්‍රතිපත්තිමය ඉලක්ක පිළිබඳව ද තොරතුරු හුවමාරු කරගෙන ඇත. ණය ස්ථාවරත්වය සුරැකීමට සහ සමාජ ආරක්ෂණ ජාලයන් ශක්තිමත් කිරීමට රජය දක්වන කැපවීම පිළිබඳව ද දූත පිරිස සිය ප්‍රසාදය පළ කළහ.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහනේ පස්වන සමාලෝචනයට අදාළ ප්‍රතිපත්තිමය සාකච්ඡා ආරම්භ කිරීම සඳහා එම නියෝජිත පිරිස නුදුරේදීම නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට, ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට සහ තිරසාර වර්ධනයක් ප්‍රවර්ධනය කිරීමට තමන් සැමවිටම සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙහිදී යළිත් තහවුරු කළේය.


























