සෝමාවතියේ කෞතුකාගාරය සහ පර්යේෂණ ආයතනය ජනපති විවෘත කරයි

පොළොන්නරුවේ ඓතිහාසික සෝමාවතී පුදබිමේ පිහිටි පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය සඳහා ඉදිකළ අලුත්ම තට්ටු දෙකේ ගොඩනැගිල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) නිල වශයෙන් විවෘත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) සඳහන් කරයි.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඉදිකරන ලද මෙම පහසුකම, සෝමාවතී රජ මහා විහාරාධිපති පූජ්‍යපාද ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්ථවිරයන් වහන්සේගේ මඟ පෙන්වීම මත ක්‍රියාත්මක විය. මෙම ව්‍යාපෘතිය සඳහා රත්න සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය මිත්‍රපාල ලංකේශ්වර මහතා විසින් පූර්ණ අරමුදල් සපයා ඇති අතර, එහි අරමුණ වූයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ තැන්පත් කර ඇති සෝමාවතී චෛත්‍යරාජයාණන් වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ අත්දැකීම් වැඩිදියුණු කිරීම සහ පුරාවිද්‍යා හා පර්යේෂණ කටයුතුවල නිරත විද්වතුන්ට සහාය වීමයි.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව ගොඩනැගිල්ල විවෘත කිරීම සනිටුහන් කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීමට පෙර චෛත්‍යරාජයාණන් වහන්සේ අබියස ආගමික වතාවත්වල නිරත වෙමින් ආශිර්වාද ලබා ගත්තේය. ඔහු නව ගොඩනැගිලි පරිශ්‍රය තුළ ඇති බුද්ධ ප්‍රතිමාවට සහ සර්වඥ ධාතු කරඬුවට පළමු මල් පූජාව ද සිදු කළේය.මෙම අවස්ථාවේදී දේශමාන්‍ය මිත්‍රපාල ලංකේශ්වර මහතා විසින් ජනාධිපතිතුමාට සමරු තිළිණයක් පිරිනමන ලදී.සභාව අමතමින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිණිදුම සුනිල් සෙනෙවි මහතා පැවසුවේ, මෙම කෞතුකාගාරය සහ පර්යේෂණ ආයතනය සෝමාවතී චෛත්‍යරාජයාණන් වහන්සේගේ පොහොසත් ඉතිහාසය සහ පුරාවිද්‍යාත්මක වැදගත්කම අවබෝධ කර ගැනීම සඳහා ප්‍රධාන දොරටුවක් ලෙස සේවය කරනු ඇති බවයි. තවද, මෙම පූජනීය භූමියේ සිදුවෙමින් පවතින සංවර්ධන කටයුතු නවීන විද්‍යාව හා තාක්ෂණය ඒකාබද්ධ කරමින් ක්‍රමානුකූල සැලැස්මක් ඔස්සේ සිදුකරන බවත්, එමගින් ශ්‍රී ලංකාවට මෙන්ම ගෝලීය ප්‍රජාවට ද මෙම උරුමය ආරක්ෂා කිරීම සහතික කරනු ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. සෝමාවතී රජ මහා විහාරාධිපති පූජ්‍යපාද ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්ථවිරයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සෙසු මහජන නියෝජිතයන්, රත්න සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා මනෙල් දීපානි ගමගේ මහත්මිය සහ දායක සභාවේ සාමාජික සාමාජිකාවන් ද මෙම සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 779

Leave A Reply

Your email address will not be published. Required fields are marked *