හානි වූ කේබල් සම්බන්ධයෙන් අවදානයෙන් සිටින්න: ඩයලොග් ඇක්සියාටා සමාගමෙන් මහජනතාවට ඉල්ලීමක්

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ ගණනාවකදී නිරාවරණය වී හෝ හානි වී ඇති විදුලි සංදේශ කේබල් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ඩයලොග් ඇක්සියාටා සමාගම පොලිස්පතිවරයා හරහා මහජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිසිය පවසයි. සමාගමට අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති දැඩි ආපදා තත්ත්වය හේතුවෙන් ෆයිබර් ඔප්ටික් සහ තඹ රැහැන් ඇතුළු අත්‍යවශ්‍ය සන්නිවේදන කේබල් පොදු ස්ථානවලට හානි වී හෝ නිරාවරණය වී ඇත. ආපදාවට ලක් වූ ප්‍රදේශවල මාර්ග අලුත්වැඩියා කටයුතු අතරතුරදී භූගත කේබල් කිහිපයකටද හානි සිදුව ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය සන්නිවේදන සේවා යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන් සැලකිය යුතු ලෙස මන්දගාමී කර ඇති බව පොලිසිය පැවසීය. එබැවින්, නිරාවරණය වූ කිසිදු කේබල් හෝ ඒ ආශ්‍රිත යටිතල පහසුකම්වලට හානි කිරීම, කැපීම හෝ අනවසරයෙන් ඇතුළු වීම සිදු නොකරන ලෙස මහජනතාවට අනතුරු අඟවන අතර, එවැනි ක්‍රියා නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බව ද සඳහන් වේ. මෙම රැහැන්වලට අනවසරයෙන් ඇතුළු වන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ඇත්නම් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටී. මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු වලදී භූගත විදුලි සංදේශ කේබල් හමු වුවහොත් බලධාරීන් දැනුවත් කරන ලෙසද මහජනතාව දිරිමත් කරනු ලබන අතර, එවැනි සහයෝගයක් මඟින් ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්ෂිතව හා කාර්යක්ෂමව සිදු කිරීමට උපකාරී වනු ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 892

Leave A Reply

Your email address will not be published. Required fields are marked *