මෑතකදී ඇතිවූ ආපදා තත්ත්වයෙන් පසුව ප්‍රවාහන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සහ පොදු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා හානි වූ මාර්ග යටිතල පහසුකම් පිළිසකර කිරීමට ප්‍රමුඛතාව ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග සහ පාලම් සම්බන්ධව සමාලෝචනය කිරීම සහ ඒවා කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය පියවර තක්සේරු කිරීම සඳහා ඊයේ (04) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. නායයෑම්, ගංවතුර සහ අධික ජල මට්ටම් හේතුවෙන් දැඩි ලෙස හානි වූ මාර්ග සහ පාලම් අලුත්වැඩියා කිරීම, ප්‍රතිසංස්කරණය සඳහා ගතවන කාලය පිළිබඳ ඇස්තමේන්තු සහ අවශ්‍ය අරමුදල් වෙන් කිරීම පිළිබඳව මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි. අයහපත් කාලගුණය හේතුවෙන් රට පුරා A- සහ B-ශ්‍රේණියේ මාර්ග කිලෝමීටර 247 කට පමණ හානි සිදුව ඇති බවත්, පාලම් 40ක් විනාශ වී ඇති බවත් නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. හානි වූ මාර්ග කොටස් 256න් කොටස් 175ක් මේ වන විට ගමනාගමනය සඳහා විවෘත කර ඇති බවද ඔවුහු වැඩිදුරටත් වාර්තා කළහ. මෙම සාකච්ඡාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන්, අධ්‍යක්ෂ ජනරාල් කේ. ඩබ්ලිව්. කන්දම්බි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.


























