හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් 2025 ජනවාරි 10 වන දින මාධ්‍යයට නිකුත් කර ඇති නිවේදනයට පිළිතුරක්

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් 2025 ජනවාරි 10 වන දින මාධ්‍යයට නිකුත් කර ඇති නිවේදනයට පිළිතුරක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (10) මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට තිබේ. එය ඔහුගේ අයිතියකි.

මාධ්‍ය නිදහස රාජපක්ෂලාගේ රෙජිමයේ යකඩ සපත්තුවට පෑගී තිබූ යුගයක, ඒ රෙජිමය ආරක්ෂා කිරීම වෙනුවෙන් රාජපක්ෂලාගේ ඉදිරිපෙළේ විශ්වාසනීය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ ඩලස් වර්තමාන මාධ්‍ය තත්ත්වය පිළිබඳව කරන විවේචනාත්මක නිවේදනය විමතියට කරුණකි.

මේ ප්‍රකාශය කළ ඩලස් සහ එදා රාජපක්ෂ ආණ්ඩුවේ සිටි ඩලස් යනු එක් අයෙකුමද, නොඑසේනම් දෙදෙනෙකුද යන්න සිතා ගැනීම අපහසුය.

එමෙන්ම රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයකු ලෙස කටයුතු කළේත් අසූව දශකයේ ‘ප්‍රේමදාස අපි සූදානම්’ කියා ලියනු ලැබුවේත් එකම ඩලස්මද කියා ප්‍රශ්නයක් ඉතිරි වේ. පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීම වෙනුවෙන් ඔහුව භෞතිස්ම කළ ඩලස් මේ වනවිට සජිත් ප්‍රේමදාස සමග එක් කඳවුරක දේශපාලනය කරමින් සිටී.

රාජපක්ෂලා සිය පැවැත්ම වෙනුවෙන් ඊනියා දේශප්‍රේමය සහ, ජාතිය ආගම යොදාගත් අතර, ඩලස්ලා ස්වකීය පැවැත්මට යොදා ගත්තේ තමන් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළාය කියන ඉතිහාසයේ සාක්ෂියයි. ඉතාමත්ම දූෂිත සහ මාධ්‍ය මර්දනයක අඛණ්ඩව යෙදුනු ආණ්ඩුවක වැජඹෙමින් සිටි අමාත්‍යවරයෙක් ලෙස ඔහු එම ඉතිහාසයේ සාක්ෂි අනේක වාරයක් කෙලෙසන්නට ඉඩදී බලා සිටි සුවච කීකරු අමාත්‍යවරයෙක් පමණක් විය. ඔවුන් විශ්වාස කරන්නේ මාධ්‍ය නිදහස සහ මාධ්‍ය යනු තමන්ට අවශ්‍ය අවස්ථාවල පමණක් ප්‍රයෝජනයට ගන්නට ඔවුන් සතු පෙට්ටගමක බහා ඇති ඔවුන්ගේ පෞරාණික භාණ්ඩයක් කියාය.

කන්න ඕනෑ වන විට කබර ගොයා තලගොයා කරගැනීමට ඩලස්ලාට ඇති පුද්ගලික අයිතිය අප ප‍්‍රශ්න නොකරන මුත් මාධ්‍ය නිදහස පිළිබඳ ඔහු වගුරමින් සිටින මේ කඳුලු කෙතරම් “අවංක” ද යන්න විමසා බැලීම වැදගත් ය. ඩලස් මේ සිදු කර ඇත්තේ උඩ බලා ගෙන කෙළ ගසා ගැනීමකි. ඒ ඩලස්ගේ ප‍්‍රකාශය ඔහුට පාරා වළල්ලක්ම වන බැවිනි.

රාජපක්ෂ රජයේ දූෂණය හා භීෂණය පිළිබඳව සත්‍ය තොරතුරු හෙළිදරව් කළ මාධ්‍යවේදීන්ට අත්වූ ඉරණම රටේ පමණක් නොව ලෝකය පුරාම ප්‍රසිද්ධය. ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී, ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් ඝාතනය කෙරුණු අතර ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු තවත් අය අතුරුදන් කරවන ලදී. කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත, සනත් බාලසූරිය ඇතුළු තවත් මාධ්‍යවේදීන් ගණනාවකට පහර කෑමට සිදුවූ අතර තවත් පිරිසකට ජීවිතාරක්ෂාව පතා රටින් පළා යාමට සිදුවිය.

මාධ්‍ය ආයතන වලට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඒ යුගය නම් දරා සිටි අතර මාධ්‍ය ආයතන සීල් තැබීම, මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා තබා ගැනීම, මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම, මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැසීම රාජපක්ෂ අවිචාර පාලන සමයේ එදිනෙදා සුලභ සිදුවීම් විය.

ඩලස් පසුගියදා නිකුත් කළ නිවේදනය ඔහුට ආවේණික ලස්සන වචන වලට මුවා වූ හාස්‍යජනක හිස් ලිපියක් පමණක් බවට පත් වන්නේ ඔවුන්ම මැදිහත්වී නිර්මාණය කළ ආණ්ඩුවල නායකයින් කටයුතු කළ ආකාරය පිළිබඳව සහ ඒ නායකයින් යටතේ ඩලස්ලා කටයුතු කළ ආකාරය සිහිපත් වන විටය.

ස්වකීය දූර කාලය අන්තනෝමතික ලෙස වැඩි කර ගැනීම වෙනුවෙන් දහ අටවැනි සංශෝධනය මහින්ද රාජපක්ෂ විසින් ගෙන ආ මොහොතේ ඩලස් අලහප්පෙරුම ඉමහත් අභිමානයෙන් යුතුව ඒ වෙනුවෙන් පෙනී සිට ඡන්දය ද ලබා දුන්නේය. ස්වකීය කුප්‍රකට බල න්‍යාය පත්‍රය තහවුරු කර ගැනීම වෙනුවෙන් මෙරට සිටි අගවිනිසුරුවරිය බෙල්ලෙන් අල්ලා එළියට දමන්නට තීන්දුව ගත් ආණ්ඩුවේ ඩලස් තරුණ කටයුතු අමාත්‍යවරයා විය.

ඒ සියලු තැන්වලදී ඩලස් නිහඩය.

අසූව දශකයේ මරණ වරෙන්තුව අතේ තියාගෙන මාධ්‍යකරණයේ යෙදුණු පිරිස් ගැන කතා කරන ඩලස්ට අමතකව ඇත්තේ ඩලස් ඇමතිකමේ වැජඹුණු රාජපක්ෂ සමයේ ඇතැම් මාධ්‍යවේදීන් ඝාතනයට ලක් වූයේ අධි ආරක්ෂිත කලාපවල බවය. දෛවයේ බරපතළම සරදම වන්නේ ඩලස් මේ නිවේදනය නිකුත් කරන්නේ ලසන්ත වික්‍රමතුංග නමැති මාධ්‍යවේදියා සාහසික ලෙස ඝාතනය කොට හරියටම වසර 16 ක් ගත වූ දාට දෙදිනකට පසු වීමය. ඒ ඝාතනය සිදුවනවිට ඩලස් අලහප්පෙරුම නැමති අයෙක් එවක රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකි.

හරියටම සොයා බැලිය යුත්තේ ඒ ඩලසුත් මේ ඩලසුත් එක්කෙනෙක්ද දෙදෙනෙක්ද කියාය.

හැම විටම මිනිසෙකුගේ සැබෑ වටිනාකම් මැනිය හැක්කේ කියන දේ අනුව නොව කරන දේ අනුවය. ඩලස්ලා එදා කියන දේ මෙන්ම කරන දේ අනුවද හිටියේ රාජපක්ෂලා ඕනෑම දෙයක් කරන විට ඕනෑම දේකට ප්‍රශස්ති ගයන ප්‍රශස්තිකරුවන් ලෙසය. කිසිවිටෙක ඔහු ඒවාට එරෙහි වූයේ නැත.

දිගින් දිගටම රාජපක්ෂ ආණ්ඩුව වෙතින් මාධ්‍යවේදීන්ට සිදුවන තර්ජන ගර්ජන ඉවසිය නොහැකි තැන එක්තරා දවසක මාධ්‍යවේදියෙක් එවක මාධ්‍ය ඇමති කෙහෙලියගෙන් විමසා සිටියේ මාධ්‍යවේදීන්ට සිදු කරන පහරදීම් සම්බන්ධව විෂය භාර අමාත්‍යවරයා ලෙස ඔබට මැදිහත් වන්නට බැරිද කියාය. එහෙත්,එදා කෙහෙලිය අතිශයින් පිළිකුල් සහගත පිළිතුරක් දුන්නේය.

“මටත් ඉතින් කරන්න තියෙන්නෙ එහෙම ගහපු අයව බලන්න තැඹිලි ගෙඩියක් අරගෙන hospital එකට යන එක විතරයි”

රාජපක්ෂ ආණ්ඩුවේ මාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා මාධ්‍යවලට එල්ල වන තර්ජන සම්බන්ධව ඒ බියගුළු සහ අන්තනෝමතික පිළිතුර ලබා දෙන විට වම් පැත්තේ වාඩිවී හිටියේ ඩලස් අලහපෙරුමය. ඔවුන් එදවස එකම ආණ්ඩුවේ සහෝදර ඇමතිවරුය.

2006 ජනවාරියේ සිට 2015 ජනවාරිය දක්වා වූ කාල පරාසය තුළදී මාධ්‍යවේදීන් දහතුන් දෙනෙකු ඝාතනය වීය. මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු අතුරුදහන් වීය.මාධ්‍යවේදීන් අසූ හත් දෙනෙකු පහර කෑමට ලක් වීය. මාධ්‍යවේදීන් බුරුතු පිටින් අත්අඩංගුවට පත්විය. පුද්ගලික මාධ්‍ය ආයතන හතරකට අවස්ථා පහකදී ප‍්‍රහාර එල්ල වීය. ඒ සිදුවීම් පිළිබඳ සාක්ෂි පවා විනාශ කරනු ලැබීය.

බලය ලබාගන්නට පෙර මහින්ද රාජපක්ෂ මාධ්‍ය මිතුරෙකු විය. ඔහු 2015 මැතිවරණ ව්‍යාපාරයේදී ඒ මාධ්‍ය මිතුරුකම මොනවට පාවිච්චි කළේය. ගඟෙන් එතෙර වීම උදෙසා පාවිච්චි කළ මාධ්‍යය හිත මිතුරුකම නැමති පහුර ගඟෙන් එගොඩ වූ විට රාජපක්ෂ විසින්ම ගිනි තැබුවේය. මාධ්‍ය සුරකින ඉටු දෙවියකු ලෙස බලය ලබාගත් මහින්ද බලය ලබා ගැනීමෙන් පසු මාධ්‍ය වනසන යම රජෙකු බවට පරිවර්තනය විය.

ඩලස්ද දේශපාලනය ආරම්භ කරන්නේ මාධ්‍යවේදීයෙකු යන අයිඩින්ටිය හෝ ලේබලය ඇතිවය. හැබැයි දේශපාලනය නැමැති ගඟ තරණය කළ පසු තමන්ගේ දේශපාලන නායකයා වූ මහින්ද රාජපක්ෂ මෙන්ම ඔහුද ඒ පහුරට ගිනි තැබුවේය. එහෙත් තමන්ට ඕනෑ ඕනෑ විට වෙන කාගේ හෝ පහුරක් පාවිච්චි කරමින් මාධ්‍ය නිදහස පිළිබඳව කිඹුල් කඳුළු හෙළන්නට ඔහු දෙවරක් නොසිතන්නේය.

ඊයේ ඩලස් අලහප්පෙරුම නිකුත් කළ නිවේදනයද එවැනි එකකි.

2019 දී ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම වෙනුවෙන් ඩලස් අලහප්පෙරුමලා කොන්දේසි විරහිතව පෙනී සිටියේය. අඩු තරමේ තමන්ම තමා මාධ්‍යවේදියෙකු බව හඟවා ගනිමින් කතාකරන ඩලස් “හූ ඊස් ලසන්තා” කියා ඇමතූ නිර්ලජ්ජිත පුද්ගලයාව රටේ ජනාධිපති කිරීම වෙනුවෙන් ඉදිරියෙන්ම සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනෙන ව්‍යාපෘතියේදී ඇතැම් මාධ්‍ය ජාතිවාදය, ආගම් වාදය, වර්ගවාදය, ඇදගෙන ඉතා ලැජ්ජා සහගත නාඩගමක් නටද්දි පවා ඩලස්ලා ඒවාට විරුද්ධ වනවා වෙනුවට ඒවා වෙනුවෙන් පෙනී සිටියේය.

ශිෂ්ට සම්පන්න මාධ්‍ය භාවිතාවන් ඉතා පහත් ලෙස උල්ලංඝනය කරමින් සිදුකළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස වෛද්‍ය ශාෆී දණ්ඩනයට නියම විය. ඒ වඳ සැත්කම් කළ බවට ඊනියා චෝදනා එල්ල කරමිනි. මේ මාධ්‍ය භාවිතය වැරදි බව කියන්නට හෝ,අඩු තරමේ ශාෆි නිදහස් වීමෙන් පසුවත් ඒ පිළිබඳව සමාව ගන්නටවත් ඩලස්ලා තුළ මිනිස්කමවත් තිබුණේ නැත.

වඳ කොත්තු ගැන කතා කරන විට, කැලණි ගඟෙන් ධාතූන් වහන්සේලා වැඩම කරවන විට ඒ ඊනියා මාධ්‍ය ප්‍රචාරවලදී ඒවා වැරදි බව කියන්නට ඩලස්ලාගේ පිටකොන්දක් තිබුණේ නැත.

ගෝඨා ශ්‍රද්ධා­වන්ත සැදැ­හැ­වත් තවු­සෙක් බවට මුලින් ම කීවේ ඩලස් ය. ඒ 2018 ජන­වා­රි­යේය. එපමණක් නොව ‘ගෝඨාභය’ උම්බ­ල­කඩ කෑල්ල­ක්වත් නොකන ‘පින්ව­තෙක්’ බවට සළු­පිළි පැළැ­න්දු­වේ ඩලස් ය.

මෙවැනි ඩලස්ලා මාධ්‍ය නිදහස ගැන කතා කිරීම තරම් සරදම් සහගත දෙයක් තවත් නැත.

ජර්මනියේ අති දක්ෂ චිත්‍ර ශිල්පියෙක් සිටියේය. ඔහු අඳින ලද බොහෝ චිත්‍ර බෙහෙවින්ම අහිංසකය. ඒ චිත්‍ර වල තිබුණේ ආදරය කරුණාව සහ සෙනෙහසය. ඇතැම් විට ඔහු අපූරු කවි ද ලියා ඇති බව ඔහුගේ ඉතිහාසය පිරික්සීමේදී සොයා ගත හැකිය.

ලෝක ඉතිහාසයේ බිහිසුණුම අපරාධ කරුවෙක් ජර්මනියේ සිටියේය. ඔහු සිය බල ව්‍යාපෘතිය වෙනුවෙන් ඒකාධිපති ෆැසිස්ට්වාදී පාලකයෙකු ලෙස ප්‍රකට විය. මුලින් සඳහන් කළ චිත්‍ර ශිල්පියාත්, ඒකාධිපති ෆැසිස්ට්වාදියාත් දෙදෙනෙකු නොව එක් අයෙකුය. ඒ ඇඩ්ලොෆ් හිට්ලර් ය. ඩලස් ඒකාධිපතියක හෝ ෆැසිස්ට්වාදියෙකු නොවේ. එහෙත්, එවැනි ආණ්ඩුවක ඉතා සමීප අන්තේවාසිකයෙකුව ලෙස කටයුතු කළේය.

අද ඔහුගේ භාවිතයත් වචනත් අතර බරපතළ වියවුලක ඔහු පැටලී සිටි.

බලය තිබෙන විට මොළය නෑ කියා කතා­වක් තිබේ. එහෙත් බලය නැති විට මොළය නැති වීම අවා­ස­නා­වකි. කාල­යක් ප්‍රග­ති­ශීලී මාන­ව­වා­දයේ පතාක යෝධ­යන්ගේ චරි­තය අපූ­රු­වට රඟ පෑ ඩලස් ලා මහින්ද යුගයේ ලද බල­යත් සමඟ සහ­මු­ලින් ම බල­කාමී වික­ට­යන් බවට පරි­ව­ර්ත­නය වූහ. වරක්, රෝහිත භාෂණ අබේ­ව­ර්ධන ලියූ ‘කුහු­ඹු­වන් වූ මිනි­සුන්’ නැමති ලිපිය ඩල­ස්ලාගේ පරි­ව­ර්ත­නයේ හැටි ස්වභා­වය මොන­වට පසක් කර­න්නකි. ‘යුක්ති­ග­රු­ක­භා­වය පිළි­බඳ මිනිස් අපේක්‍ෂා ශූන්‍යව ගිය කලක කිසිත් කර­ කියා ගත නොහෙන කුරා කුහු­ඹු­ව­කු­ගෙන් මිනිසා වෙනස් වන්නේ ඇයි? කියන ප්‍රශ්න­යට අප බොහෝ දෙනා පිළි­තුරු උගත්තේ ඉති­හා­සය විසින් මේ ප්‍රශ්නය මුහු­ණට දමා ගැසූ සම­ය­ක­දීය. යට­ත්භා­වය මහා­මා­රි­යක් මෙන් පැතිර යමින් ඇති විට පවා ප්‍රති­ප­ත්ති­ග­රුක ජීවි­තය ආඩ­ම්බ­ර­ය­කැයි කුහු­ඹු­වකු නොදනී.

නමුත් මිනි­ස්සු එය දනිති. එය අම­ත­කව ගිය සැණින් රැළෙන් මඟ නොහැ­රු­ණද මිනිසා හුද­කලා කුහු­ඹු­වකු බවට පෙර­ළෙයි. රැළ හා වසන මුත් පෑගී මිය යෑමේ තැති ගැන්මෙන් එකා පසු­පස එකා වැටී සැරි­ස­රයි.’ යනු­වෙන් හෙතෙම සිය ලිපිය ආරම්භ කරයි. සත්‍ය­යකි. ඩල­ස්ලාට සිදු වූයේම එයම ය.

බලය ලද කල එහි ගිලී, එහිම වස­මින් එය සදා­කා­ලි­ක­යැයි හඟින්නෝ උම­තු­වෙන් දොඩ­වති. අද ඩලස්ලා පත්ව සිටින්නේ එකී දෛවයේ පරීක්ෂණයට ය.

“ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට” කියා ධර්මයෙහි තිබේ. මේ මොහොතේ වඩාත් ගැලපෙන්නේ එහි අවසන් පද දෙකය.

“දුසිරිත දනන් දෙන – ඔවා වැද්දන් කියන බණ වැනි”

ඩලස්ලා ඉදිරියටත් මෙවැනි වැදි බණ කිව යුතුය. එවිට ඒ ඩලසුත් මේ ඩලසුත් එක්කෙනෙක්ද, දෙන්නෙක් ද යන්න පිළිබදව පුරවැසියන්ට හරියටම දැනගැනීමට හැකි වනු ඇත.

මෙරට මාධ්‍යවේදීන් විවිධ වකවානුවල, විවිධ පාලන තන්ත්‍රයන්ගේ පලිගැනීමට, තර්ජනයට සහ හිංසනයට ලක්වු කළු අතීතය පිළිබදව සියල්ලන්ට වඩා අපට අවබෝධයක් තිබේ. නැවත එවැනි තත්ත්වයක් මේ රට තුළ නිර්මාණය වීමට කිසිසේත් ඉඩ නොතබන අතර එලෙස පීඩාවට පත් සියලු දෙනා වෙනුවෙන් යුක්තිය හා සාධාරණත්වය ඉටු කිරීමටත්,එකී අකටයුතුකම් සිදුකළ චූදිතයින්ව නීතිය ඉදිරියට ගෙන ඒමට ගත යුතු සියලූම ක්‍රියාමාර්ග ගැනීමටත් අප පසුබට නොවන බවත් දන්වා සිටිමු.

වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක

2025.01.11

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *