වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර සිය දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකූට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබර් මස 01 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා අද දින නියම කළේ ය.
නඩුව කැඳ වූ අවස්ථාවේ හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් කටයුතු කළ මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනී සිදු විය.
ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 01 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියම කළේ ය.
2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර සිය දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ දූෂණය නමැති වරද සිදු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.
