පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර තිබූ සිතාසිය බලශූන්‍ය කරමින් අභියාචනාධිකරණය ඊයේ (03) රිට් ආඥාවක් නිකුත් කළේය. ධම්මික ගනේපොළ, මායදුන්නේ කෝරයා, පී. කුමාරරත්නම්, සසී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දෙන ලද්දේ අදාළ සිතාසිය නීතිවිරෝධී බව පවසමින් හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය. අපරාධමය නොසලකා හැරීමක් සම්බන්ධයෙන් සිතාසි නිකුත් කිරීමට පාදක වූ නිශ්චිත කරුණු සහ සාක්ෂි මොනවාදැයි මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය මගින් පැහැදිලිව දක්වා නොමැති බවත්, ඒ අනුව එම තීරණය නිසි නීතිමය පදනමකින් තොර බවත් විනිසුරු මඩුල්ල මෙහිදී නිරීක්ෂණය කළහ.කෙසේ වෙතත්, අභියාචනාධිකරණය අවධාරණය කළේ ඉදිරියේදී යම් නව කරුණු හෝ සාක්ෂි ඉදිරිපත් වුවහොත්, ඒ මත පදනම්ව නැවතත් මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයාට පවතින නෛතික බාධාවක් ලෙස මෙම තීන්දුව නොසැලකිය යුතු බවයි. සිිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සහ ප්‍රහාරයෙන් විපතට පත් වූවෙකු වන ජේසුරාජ් ගනේෂන් යන මහත්වරුන් ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලකට අනුව 2022 සැප්තැම්බර් 16 වන දින මෙම සිතාසිය නිකුත් කර තිබුණි. හිටපු ජනාධිපතිවරයා සිය පෙත්සම මගින් පෙන්වා දුන්නේ ශ්‍රවණානුගත (Hearsay) සහ පිළිගත නොහැකි සාක්ෂි සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම සිතාසිය නිකුත් කර ඇති බවත්, එය අධිකරණමය අභිමතය නිසි ලෙස භාවිතා කිරීමක් නොවන බවත්ය.


























