අප්‍රේල් 13 වන දින දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළ යා හැකි බව පවසමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. හෙට දිනයේ මිනිස් සිරුරට දැනෙන මෙම අධික උණුසුම හමුවේ සෞඛ්‍යාරක්ෂිතව සිටීම අත්‍යවශ්‍ය බව ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය අවධාරණය කරයි.මෙම තත්ත්වය හමුවේ ශරීරය විජලනය වීම වළක්වා ගැනීමට වැඩිපුර ජලය පානය කිරීම සහ හැකිතාක් සෙවණ ඇති ස්ථානවල රැඳී සිටීම වැදගත් වේ. එළිමහනේ සිදුකරන දැඩි වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, ශරීරයට සිසිලස ගෙන දෙන සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතයට හුරු වන ලෙසත් සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි. අධික හිරු රශ්මියෙන් සිරුරට විය හැකි අහිතකර බලපෑම් අවම කර ගැනීමට ජනතාව කල්පනාකාරී විය යුතුය.විශේෂයෙන්ම වැඩිහිටියන්, රෝගී පුද්ගලයන් සහ කුඩා දරුවන් කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කළ යුතුය. කිසිදු අවස්ථාවක කුඩා දරුවන් සංවෘත වාහන තුළ තනිකර දමා නොයෑමට වගබලා ගත යුතු අතර, අවදානම් කණ්ඩායම්වල සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිවැසියන් විමසිලිමත් විය යුතුය. කාලගුණික විපර්යාසයන් හමුවේ ඇති විය හැකි හදිසි රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට මෙම සරල උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් වේ.






















