හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයට ඉරානය එල්ල කරන බාධා වහාම ඉවත් කරන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි නියෝගයක් නිකුත් කර තිබේ. ඉදිරි පැය 48 ඇතුළත මෙම මුහුදු සීමාව සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට පියවර නොගතහොත්, ඉරානයේ ප්‍රධාන බලාගාර ඇතුළු සමස්ත බලශක්ති පද්ධතියම ඉලක්ක කර ප්‍රබල ප්‍රහාර එල්ල කරන බවට ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා අනතුරු අඟවා ඇත. මැදපෙරදිග පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ ඉරානය විසින් මෙම මුහුදු මාර්ගය අවහිර කිරීම හේතුවෙන් මේ වන විට ගෝලීය බලශක්ති අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් මතුව තිබේ.මෙම නාවික අවහිරතාවය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති අතර, එය ජාත්‍යන්තර වෙළෙඳ කටයුතුවලට ද දැඩි බලපෑමක් එල්ල කර ඇත. ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කරන්නේ කිසිදු තර්ජනයකින් තොරව නෞකා ගමනාගමනය සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දිය යුතු බවයි. එසේ නොමැති වුවහොත් අමෙරිකානු හමුදා මැදිහත් වී එරට බලශක්ති මධ්‍යස්ථාන විනාශ කර දමන බවට සිදු කර ඇති ප්‍රකාශයත් සමඟ කලාපීය ආරක්ෂාව පිළිබඳ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
























