ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවගේ මුඛ සෞඛ්‍ය තත්ත්වය සහ පවතින රෝගී ප්‍රවණතා විද්‍යාත්මකව හඳුනාගැනීම අරමුණු කරගත් “05 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය” එළඹෙන මාර්තු 10 වනදා සිට දිවයින පුරා ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සියලු කටයුතු සූදානම් කර ඇත.ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශයන්ට අනුව සෑම වසර 10 කට වරක් මෙවැනි ජාතික මට්ටමේ සමීක්ෂණයක් පැවැත්විය යුතු අතර, ඒ අනුව මෙවර සමීක්ෂණය ලබන නොවැම්බර් මස දක්වා අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.මෙම සෞඛ්‍ය මෙහෙයුම සඳහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි, අහඹු ලෙස තෝරාගත් පාසල් දරුවන් සහ වැඩිහිටියන් 10,000 කගෙන් සමන්විත නියැදියක් යොදාගැනේ. දත්ත රැස් කිරීමේදී පර්යේෂණ කණ්ඩායම් පාසල් වෙත මෙන්ම නිවෙස් වෙත ද ගොස් පරීක්ෂණ පවත්වනු ඇත.විශේෂඥ වෛද්‍යවරුන් විසින් පෙන්වා දෙන පරිදි ශ්‍රී ලාංකිකයෙකු වසරකට පරිභෝජනය කරන සීනි ප්‍රමාණය අතිශය ඉහළ අගයක් ගනී. ලෝක සෞඛ්‍ය සංවිධානය වසරකට සීනි කිලෝග්‍රෑම් 10 ක් නිර්දේශ කළ ද, මෙරට සාමාන්‍ය පුද්ගලයෙකු වසරකට සීනි කිලෝග්‍රෑම් 34 ක් වැනි අධික ප්‍රමාණයක් පරිභෝජනය කරන බව හෙළි වී තිබේ.මෙම තත්ත්වය හමුවේ සීනි බද්ද (Sugar Tax) නැවත බලාත්මක කිරීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත. පැණි රස ආහාර වෙනුවට සෞඛ්‍ය සම්පන්න විකල්ප වෙත ජනතාව යොමු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන් දැඩිව අවධාරණය කළහ.පසුගිය දශක කිහිපය තුළ මෙරට මුඛ සෞඛ්‍යයේ යම් ප්‍රගතියක් දක්නට ලැබෙන අතර, 1982 දී 70% ක්ව පැවති වයස අවුරුදු 12 ක දරුවන්ගේ දත් දිරායාමේ ප්‍රතිශතය අවසන් සමීක්ෂණය වන විට 30% දක්වා අඩු වී ඇත. කෙසේ වෙතත්, වයස අවුරුදු 5 ක දරුවන්ගෙන් 63% කටම දත් දිරායාමේ ගැටලු පවතින බව ද අනාවරණය වේ.වැඩිහිටි ප්‍රජාව දෙස බැලීමේදී තත්ත්වය බරපතළ වන අතර, සෑම වැඩිහිටියන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුම විදුරුමස් රෝගයකින් පීඩා විඳින බව දත්ත පෙන්වා දෙයි. මෙය මෙරට වැඩිහිටි ජනගහනයෙන් 50% ක ප්‍රතිශතයකි.මෙවර සමීක්ෂණයේදී වයස් කාණ්ඩ 05 ක් (වයස 5, 12, 15, 35-44 සහ 65-74) කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරේ. මෙහිදී රැස්කරනු ලබන දත්ත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පද්ධතියට ද ඇතුළත් කිරීමට නියමිතය.සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 20 ක පිරිවැයක් දරමින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන සඳහා රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන් ඇතුළු දේශීය සම්පත් දායකයින්ගේ උපරිම දායකත්වය ලබා ගැනේ. මෙය ශ්‍රී ලංකාවේ අනාගත සෞඛ්‍ය ප්‍රතිපත්ති සැකසීම සඳහා ඉතා තීරණාත්මක වනු ඇත.තම නිවෙස් හෝ පාසල් වෙත පැමිණෙන වෛද්‍ය කණ්ඩායම් වෙත නිවැරදි තොරතුරු ලබා දෙමින්, මෙම ජාතික කර්තව්‍යය සාර්ථක කර ගැනීමට පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.


























