1990 සුවසැරිය ගිලන්රථ සේවාවේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් ඉදිකරන ලද නව පරිපාලන කාර්යාලය අද (04) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතය. හදිසි වෛද්‍ය අවශ්‍යතාවලදී ජනතාවට වඩාත් කඩිනම් සේවාවක් සැපයීම වෙනුවෙන් මෙම නව මධ්‍යස්ථානය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.නව කාර්යාලය ස්ථාපිත කිරීමත් සමඟ ගිලන්රථ මෙහෙයුම් පද්ධතිය, දිස්ත්‍රික්ක අතර සම්බන්ධීකරණ කටයුතු සහ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. සේවාවේ කාර්ය සාධනය නිරන්තරයෙන් අධීක්ෂණය කිරීමටත්, හදිසි අවස්ථාවකදී ගිලන්රථයක් කැඳවන රෝගියෙකුට අවශ්‍ය උපරිම වෛද්‍ය පහසුකම් අවම කාලයකින් ලබා දීමටත් නවීන තාක්ෂණයෙන් සමන්විත මෙම මධ්‍යස්ථානය මඟින් පහසුකම් සැලසෙනු ඇත.ප්‍රජා සෞඛ්‍ය සේවයේ වැදගත් සන්ධිස්ථානයක් වන 1990 සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම හරහා දිවයින පුරා පවතින හදිසි වෛද්‍ය අවශ්‍යතා කළමනාකරණය කිරීම වඩාත් විධිමත් වනු ඇත. මහජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ මානුෂීය මෙහෙයුම වෙනුවෙන් රජය දක්වන කැපවීම තහවුරු කරමින්, මෙම නව ආයතනික ව්‍යුහය හරහා ඉදිරියේදී වඩාත් සුපිරික්ෂිත සේවාවක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.




















