ශ්‍රී ලංකාවාසී ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවිත උදුරාගත් අතිශය විනාශකාරී 2004 සුනාමි ව්‍යසනයට වසර 21ක් සපිරීම නිමිත්තෙන්, දිවයින පුරා අද (26) ගුණානුස්මරණ වැඩසටහන් රැසක් පවත්වන ලදී. ජාතික සුරක්ෂිතා දින සැමරුමට සමගාමීව මෙහි ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල, පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී අද පෙරවරුවේ ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.මෙහිදී එම අවාසනාවන්ත ව්‍යසනයෙන් දිවි අහිමි වූවන් සිහිපත් කරමින් පෙරවරු 9.25 සිට 9.27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබූ අතර, දුම්රියෙන් පැමිණි නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එම ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වමින් සිය ශෝකය ප්‍රකාශ කළහ. අනතුරුව මියගිය පිරිස් වෙත පින් පැමිණවීම පිණිස සර්ව ආගමික වතාවත් සිදු කෙරුණු අතර, මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලින් හේවගේ සහ රත්න ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය නිශාන්ත සමරවීර සහ ටී.කේ. ජයසුන්දර ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම විදේශීය සංචාරකයින් විශාල පිරිසක් ද සහභාගී වූහ. ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් මෙම ගුණසමරු වැඩසටහන සංවිධානය කර තිබුණි.




























