2024.09.27උත්සව පැවැත්වීම වෙනුවෙන් සිදු කරන අනවශ්‍ය මුදල් හා රාජ්‍ය සම්පත් නාස්තිය වහා නවත්වන්න.අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

උත්සව පැවැත්වීම වෙනුවෙන් සිදු කරන අනවශ්‍ය මුදල් හා රාජ්‍ය සම්පත් නාස්තිය වහා නවත්වන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.
අද (27) පෙරවරුවේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතනවල ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය,
රාජ්‍ය මුදල් නාස්තිය සහ අවභාවිතය පිළිබඳව රජයක් ලෙස අපි දැඩි අවධානයෙන් ඉන්නවා, ඒවගේම අපි වියදම් පාලනය කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඒනිසා උත්සව සඳහා සිදුකරන නාස්තිය අඩු කරන්න.
රාජ්‍ය ප්‍රතිපාදන ලැබෙන සහ වියදම් කළ ප්‍රමාණ පිළිබද සංඛ්‍යා ලේඛන අමාත්‍යංශය සතුව තිබෙනවා. නමුත් ඒ වියදම් වල ප්‍රගතිය පිළිබඳ කිසිදු නිරීක්ෂණයක් මේ වන තෙක් කර නැහැ. වියදම් වූ මුදලින් සිදු වූ දේ පිළිබඳ කඩිනමින් අභ්‍යන්තර විගණනයක් සිදු කරන්න.
රාජ්‍ය ආයතන වල සිදුව තිබෙන විවිධ වංචා, දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ආයතනිකව කමිටු පත් කරන්නේ නැහැ. ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් රජය මගින් සකස් කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් කේ. මහේෂන් යන මහත්වරුන් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ සියලු අංශ ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගී විය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *