2025 රාජ්‍ය වෙසක් මහෝත්සව සැමරුම නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්

ජාතික වෙසක් සතිය 2025.05.10 සිට 16 දින දක්වා

· මෙවර තේමාව – “භජේථ මිත්තේ කල්‍යාණේ – කල්‍යාණ මිතුරන් ඇසුරු කරන්න”

බෞද්ධ ප්‍රබෝධය ඇතිවන පරිදි සියලු ජන වර්ගයන්හි සහභාගිත්වයෙන් යුතුව මෙවර රාජ්‍ය වෙසක් සැමරුම සිදු කළ යුතු බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අද (05) ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2025 රාජ්‍ය වෙසක් මහෝත්සව සැමරුම පිළිබඳ අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී ය.

රාජ්‍ය වෙසක් මහෝත්සව සැමරුමට සමගාමීව තෝරා ගත් විහාරස්ථානවල භෞතික සංවර්ධන කටයුතු සිදුකිරීමටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සහ දිවයිනේ අනෙකුත් දහම් පාසල් සඳහා පහසුකම් වැඩිදියුණු කිරීමටත් නියමිත ය.

මෙවර රාජ්‍ය වෙසක් දින සැමරුම් උත්සවය 2025.05.12 දින එනම් වෙසක් පුන් පොහෝ දින නුවර එළියේ දී පැවැත්වීමට ද යෝජනා විය.

ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන ලබා දෙමින් සීල භාවනා වැඩසටහන්, සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, සංස්කෘතික වැඩසටහන්, භික්ෂු හා සිල්මාතා පුහුණු වැඩසටහන්, අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන්, භක්කිගීත හා බොදු ගීත ගායනා වැඩසටහන් සහ පුරාවිද්‍යා ප්‍රදර්ශන ආදියෙන් සමන්විතව මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සව සැමරුම පැවැත්වීමට නියමිත බව අද පැවති සාකච්ඡාවේ දී අවධාරණය විය.

මෙම සාකච්ඡාව සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය ඔකඳගල චන්දාලෝක ස්වාමීන්වහන්සේ සහ නුවරඑළිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය කිරිඔරුවේ ධීරානන්ද ස්වාමීන්වහන්සේ වැඩම කළ අතර, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී.රත්නායක ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

What's your reaction?

Related Posts

1 of 645

Leave A Reply

Your email address will not be published. Required fields are marked *