ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ශ්‍රමික ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින්, 2026 වසරේ ජනවාරි මාසය තුළ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 751.1ක මුදලක් මෙරටට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) නිවේදනය කරයි. මෙය 2025 වසරේ ජනවාරි මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 573.0 ක අගය සමඟ සැසඳීමේදී 31.1% ක සැලකිය යුතු ඉහළ යාමකි. 2025 වසර පුරා ලැබුණු සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 8.076 ක වාර්තාගත අගයක් සනිටුහන් කර තිබූ අතර, 2026 වසරේ මෙම ප්‍රබල ආරම්භය මෙරට විදේශ විනිමය සංචිත තවදුරටත් ශක්තිමත් කිරීමට මහෝපකාරී වනු ඇත.


























