2026 වර්ෂය සඳහා වන විනිශ්චය පනත් කෙටුම්පතේ (Appropriation Bill) දෙවැනිවර කියවීම, එනම් සාමාන්‍ය ව්‍යවහාරයේ අයවැය කථාව, හෙට (07) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම සිදු කිරීමට අපේක්ෂා කෙරේ. ඉන් අනතුරුව, නොවැම්බර් 8 වන දින සිට දින හයක් පුරා අයවැය විවාදය පැවැත්වීමට නියමිත අතර, දෙවැනිවර කියවීම පිළිබඳ ඡන්ද විමසීම නොවැම්බර් 14 වැනි සිකුරාදා සවස 6:00ට පැවැත්වීමට නියමිතව ඇත. කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 15 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, එය දින 17ක් පුරා පැවැත්වෙනු ඇත. තුන්වැනිවර කියවීම පිළිබඳ ඡන්ද විමසීම දෙසැම්බර් 5 වැනිදා සවස 6:00ට පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.
























