චීන රජයෙන් මෙරටට පරිත්‍යාගයක් ලෙස ලැබුණු 2026 වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් රෙදි තොගය දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු මේ වන විට සාර්ථකව නිමවා තිබේ. මහජන චීන සමූහාණ්ඩුවේ සහයෝගීතාවය මත හිමිවූ මෙම ප්‍රදානය, මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුබසාධන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වී ඇත.මෙම ව්‍යාපෘතිය යටතේ රෙදි මීටර් මිලියන 11.484 ක දැවැන්ත ප්‍රමාණයක් සිසුන් වෙත ලබා දී ඇත. රජයේ පාසල්, රජයේ ආධාර ලබන පාසල් මෙන්ම පිරිවෙන් ද ඇතුළුව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ඉතා ක්‍රමවත් ලෙස මෙම බෙදාහැරීම් ක්‍රියාවලිය සිදුවූ බව වාර්තා වේ.මීට අදාළ ප්‍රතිලාභ හිමිවූ පිරිස අතර සාමාන්‍ය පාසල් සිසුන් පමණක් නොව, ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීල මාතාවන් සහ පිරිවෙන්හි අධ්‍යාපනය ලබන ගිහි සිසුන් ද ඇතුළත් ය. ඒ අනුව දිවයින පුරා විසිරී සිටින 4,418,404 ක් වූ සමස්ත සිසු දරු දැරියන් පිරිසකට නියමිත වේලාවට මෙම නිල ඇඳුම් රෙදි ලබා දීමට බලධාරීන් කටයුතු කර ඇත.






















