2026 වසරේ අභියෝග ජය ගැනීමට බුද්ධිමත් සාමූහික ප්‍රවේශයක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

උදාවූ 2026 නව වසර ශ්‍රී ලංකාවට අභියෝගාත්මක වසරක් වනු ඇති බවත්, එම යථාර්ථය වටහාගෙන හැඟීම්වලට වඩා බුද්ධියට මුල්තැන දෙමින් කටයුතු කිරීමට සියලු දෙනා අදිටන් කරගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නව වසර වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා අවධාරණය කරන්නේ, රට මුහුණ දී සිටින ආර්ථික, සමාජීය සහ දේශපාලන අර්බුද හුදකලා සැලසුම් මගින් පමණක් ජයගත නොහැකි බවයි. මේ මොහොතේ ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ සහයෝගීතාවය වෙනදාටත් වඩා අත්‍යවශ්‍ය වී ඇති බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා, එකතැන පල්වීමෙන් හෝ අසරණභාවයෙන් පලක් නොවන බවත්, අර්ථවත් වෙනසක් ඇති කළ හැක්කේ පොදු අරමුණක් වෙනුවෙන් සියලු දෙනා සාමූහිකව කැපවීමෙන් පමණක් බවත් සඳහන් කරයි.​සත්‍යය සහ සාධාරණය පිළිබඳ ගැටලුවලදී කුඩා හෝ විශාල වශයෙන් භේදයක් නොමැති බව ඇල්බට් අයින්ස්ටයින්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඔහු පෙන්වා දෙයි. රටේ පුරවැසියන් මුහුණ දෙන සෑම ගැටලුවකටම එක හා සමාන වැදගත්කමක් ලබා දෙමින්, සාධාරණ සහ තිරසාර විසඳුම් සෙවීමට එක්විය යුතු බව සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. ඒ අනුව, එම දැක්ම පෙරදැරිව ඉදිරියට යාමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ආගමික නායකයින්, දේශපාලන හා සමාජ ක්‍රියාකාරීන් ඇතුළු සමස්ත ජනතාවටම ලැබේවායි ප්‍රාර්ථනා කරමින් විපක්ෂ නායකවරයා සිය සුබපැතුම් එක් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 921

Leave A Reply

Your email address will not be published. Required fields are marked *