2026 වසරේ සිට බලපැවැත්වෙන පරිදි සිංහල හින්දු අලුත් අවුරුදු නැකැත් සම්පාදනයට නව වැඩපිළිවෙළක්

අද (24) පැවති මහජන දින හමුවීම් අතර අමාත්‍යවරයා ජ්‍යොතිෂ ක්ෂේත්‍රයේ නියැලී සිටින පිරිසක් හමු වූ අතර ඔවුන් සිංහල හින්දු අලුත් අවුරුදු නැකැත් සකස් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන ලදි. සිය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වර්ධනය සඳහා ද අමාත්‍යාංශයේ මැදිහත්වීම ඉල්ලා සිටි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ 2025 වසරට අදාළ සිංහල හින්දු අලුත් අවුරුදු නැකැත් සියල්ල මේ වන විට ජනගත වී තිබෙන හෙයින් එහි වෙනස්කම් සිදු කිරීම සඳහා කිසිදු බලපෑමක් නොකරන බවයි.

එහෙත් 2026 වසරේ සිට විධිමත් වැඩපිළිවෙලක් ඔස්සේ සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සම්පාදනයටත්, ජ්‍යොතිෂ ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීම අවශ්‍ය බව ඔවුන් අවධාරණය කළේය.

ඒ අනුව ජ්‍යොතිෂ ක්ෂේත්‍රයේ නියැලී සිටින සියලු දෙනාට සිය යෝජනා ඉදිරිපත් කිරීමටත්, අමාත්‍යාංශයේ මැදිහත් වීම මත ඔවුන්ට එක් දිනකදී රැස්වීමකට සහභාගී වීමටත් අවශ්‍ය වැඩපිළිවෙලක් සම්පාදනය කරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

මේ අතර අමාත්‍යවරයා එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්‍රයේ නියැලී සිටින පිරිසක් සමඟ සාකච්ඡා කළේ ය.

එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමේ කාල සීමාව දීර්ඝ කර ගැනීම, ක්‍රීඩාංගණ වෙන් කර ගැනීමේදී ඇති ගැටලු මගහරවා ගැනීම, ශබ්ද විකාශන බලපත්‍ර ලබා ගැනීමේදී ඇති ගැටලු විසඳා ගැනීම, ශිල්පීන්ගේ අයකිරීම් සාධාරණ මට්ටමක පවත්වා ගැනීම, විනෝද බද්ද අය කිරීමේදී පවතින විෂමතා ඉවත් කරගැනීම සහ රසිකයින්ගේ ආරක්ෂාව තර කිරීම ඇතුළු යෝජනා රැසක් ඔවුන් විසින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කෙරිණි.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කර, මහජන පීඩාවන් ඇති නොවන පරිදි දැනට පවතින සීමාවන් සංශෝධනය කිරීමටත් එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහාත් කටයුතු කරන බවයි.

What's your reaction?

Related Posts

1 of 567

Leave A Reply

Your email address will not be published. Required fields are marked *